මනම්පිටිය නිමල් ජයරත්න –
වී අලෙවි මණ්ඩලය මගින් මෙතෙක් මහවැලි බී කලාපයේ කිසිදු ස්ථානයක වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකිරීම නිසා පොලොන්නරුවේ මහා පරිමාණ වී මෝල් හිමියන් තම වී අස්වනු කුණුකොල්ලයට ලබාගැනීමේ කූට උපක්‍රමයක නිරතවන බව මහවැලි බී කලාපයයේ ගොවි සංවිධාන නියෝජිතවරු හෙළි කරති.
මහවැලි බී කලාපයේ වැලිකන්ද, දිඹුලාගල, අරලගංවිල, ඇතුළු ප්‍රධාන නගර ආශ්‍රිතව රජයේ වී ගබඩා මේ වෙනවිට සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අතර මේ හේතුකොටගෙන අද දින වනවිට පොළොන්නරුව මහ මෝල් හිමිකරුවන් පැමිණි තමන්ගේ වී තුට්ටු දෙකට ලබාගැනීමට
සැරිසරන බවද ගොවි සංවිධාන නියෝජිතවරු පෙන්වාදෙති.
මේ වෙනවිට නාඩු වී කිලෝවක් රුපියල් 90 ත්, 95ත්, සම්බා වී කිලෝවක් රුපියල් 95 ත් 100 ත්,, කීරි සම්බා කිලෝවක් රුපියල් 100 ත්,110 ත් අතර මිලකට පෞද්ගලික වෙළඳුන් විසින් ලබාගනිමින් සිටින බවද ගොවීහු සඳහන් කරති.
මෙවර යල කන්නයේයේ වී අස්වනු සියයට 45ත් 50 ත් අතර ප්‍රමාණයකින් අඩුවී ඇති අතර, ඊට හේතු වී ඇත්තේ කාබනික පොහොර යෙදීම බවත්, අක්කර දෙකහමාරකින් මීට පෙර වී කිලෝ 5000 ත් 6000 ත් ප්‍රමාණයක් ලබාගත්තද මෙවර අක්කර දෙකහමාරකින් ලබාගැනීමට හැකියාව ඇත්තේ වී කිලෝ 2500ක් 3500 අතර ප්‍රමාණයක් බවත් මහවැලි බී කලාපයේ ගොවීහු පෙන්වා දෙති.

ඩීසල් මිල අධික ලෙස ඉහළ යෑම නිසා වී අස්වනු නෙලන යන්ත්‍ර මගින් වී අස්වනු නෙලීමට රුපියල් 40,000 කට වැඩි මුදලක් ලබාගන්නා බවත්, කෘමිනාශක, වල්නාශක, ඇතුළු වී අස්වනු ලබාගැනීම දක්වා යොදන යෙදවුම් වල මිල හා කම්කරු වියදම් ඉහළ ගොස් ඇති නිසා රුපියල් 100 ට අඩුවෙන් වී කිලොවක් ලබාදීමෙන් තමන්ට අධික පාඩු සිදුවන බවත් ගොවීහු කියති.
මහවැලි බී කලාපයට අයත් වැලිකන්ද නගරයට ආසන්නව පවතින වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා සංකීර්ණ හතරක් මේ වන විට ගරාවැටෙමින් පවතී. ඒ තුළ තිබූ වී විශාල ප්‍රමාණයක් අලින් විසින් විනාශ කර ඇති බවද ගොවි සංවිධාන නියෝජිතවරු සඳහන් කරති,
පුලතිසි ගොවි, වෙළඳ, පාරිභෝගික, හවුලේ අනුශාසක දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන්, සිංහපුර කොට්ඨාස ගොවි සංවිධාන සභාපති වසන්ත සේනානායක, සේනපුර කොට්ඨාස ගොවි සභාපති කපිල සිරිල් පතිරණ, සෙවනපිටිය කොට්ඨාස ගොවි සංවිධාන සභාපති ජයලත් ගුණසිංහ අද (12 ) වැලිකන්ද නගරයෙට ආසන්නව පවතින වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා තුන නිරීක්ෂණය කරමින් ප්‍රකාශ කළේ ගොවියා මහත් පීඩනයට පත්ව සිටින මොහොතක ඉතා කඩිනමින් මෙම වී ගබඩා විවෘත කර ගොවියාගේ වී සාධාරණ මිලට ලබා ගැනීමට රජය අවශ්‍ය කටයුතු නොකළොත් ඉතා කඩිනමින් ගොවි සංවිධාන එක්ව දැවැන්ත අරගලයක් සිදුකරන බවයි.
රජය හිතාමතාම වී ගබඩා වසා දැමීමෙන් පෞද්ගලික වෙළෙන්දාට අඩු මිලට වී ලබාගැනීමට පාර සකසා ඇති බවද ගොවි සංවිධාන නියෝජිතයෝ සඳහන් කළහ.







