මරණ දණ්ඩනය නියමවී සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා ලබන 15 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.
2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම්වලින් සිරකරුවන් පිරිසක් මරණයට පත්වීමේ සිද්ධියට අදාළව ඔහුට මරණ දණ්ඩනය නියමවී ඇත.
තමන්ට පනවා තිබෙන මරණීය දණ්ඩනයෙන් තමන්ව නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම අද (08) කැඳවනු ලැබූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවැසීය.
මෙම අභියාචනා පෙත්සම අද විජිත් මළල්ගොඩ, එස්. තුරෙයිරාජා, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පූලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී විත්තිකාර හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩු විභාගය සඳහා බන්ධනාගාරගතව සිටින සිය සේවාදායකයා අධිකරණය හමුවට කැඳවා ඔහු ඉදිරියේ මෙම විභාගය පවත්වන ලෙස ඉල්ලා සිටියේය.
ඒ අනුව අභියාචනා විභාගය ලබන 15 වනදා දක්වා කල් තැබූ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එදින විත්තිකාර අභියාචක එමිල් රංජන් ළමාහේවා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය.
2012 වසරේ නොවැම්බර් මස වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවූ කැරැල්ලකින් “කොන්ඩ අමිල” නමැති සිරකරුවකු මරණයට පත්වීමේ සිද්ධියට අදාළව වරදකරු කෙරුණු හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙලෙස මරණීය දණ්ඩනය නියම කර තිබේ.
තමාට එම දඬුවම නියම කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් තමන්ව එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමින් විත්තිකරු විසින් මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර ඇති බව සඳහන්ය. – දෙරණ