-
ජනාධිපති කියන්නෙ ඔටුන්න හිමි කුමාරය නෙමෙයි… ඡන්දෙන් පත්වුණ පුරවැසියෙක්..ආණ්ඩුවට මොකද මේ වෙලා තියෙන්නෙ… රාසමාණික්කම් පාර්ලිමේන්තුවේදී ඇසූ කතාව…
ලක්ෂ 20ක් වූ උතුරු නැගෙනහිර ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 13 දෙනෙක් ජනාධිපතිවරයා හමුවීමට ජනාධිපති ලේකම් කාර්යාලයට ගිය දිනයේ ජනාධිපතිවරයා ඔවුන්ව හමු නොවී රත්මලානේ දුම්රිය බලන්නට ගොස් සිටි බව මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මන්ත්‍රීවරයා අද ( 08) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
මේ රටේ ජනාධිපතිවරයාට වැදගත් ලක්ෂ විස්සක ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කිරීමද, රත්මලානේ දුම්රිය බැලීමදැයි විමසූ මන්ත්‍රීවරයා කීවේ ජනාධිපතිවරයා යනු චන්දයෙන් පත් වී සිටින පුද්ගලයෙක් විනා ඔටුන්න හිමි කුමාරයෙක් හෝ රජකෙනෙක් නොවන බවය. එබැවින් ඔහුව හමුවීමට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සමගි කාන්තා බලවේගයේ කාන්තාවන් ජනාධිපතිවරයාගේ නිවස අසලට ගිය ගමන තමන් අතිශයින්ම අගය කරන බව මන්ත්‍රීවරයා කීවේය.
පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙසේ ද පැවසුවේය.
“පෙරේදා (08) හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ගිහින් කළ උද්ඝෝෂණය අපි ඉතාම අගය කරනවා. මොකද මේ රටේ ජනාධිපතිවරයා කියන්නෙත් චන්දයෙන් පත් වුණු පුද්ගලයෙක්. එයා ඔටුන්න හිමි කුමාරයවත් රජකෙනෙක්වත් නෙමෙයි. ඔවුන් ගිය එක හරි.“
“අපිත් ගියා ජනාධිපති කාර්යාලයට ජනාධිපතිතුමා හම්බවෙන්න. එතුමා ආවෙ නෑ අපිව හම්බවෙන්න. එතුමා ඒ වෙලාවෙ රත්මලානෙ කෝච්චි බලන්න ගිහිල්ලා.“
“උතුරු නැගෙනහිර මෙන්ම කොළඹ නියෝජනය කරමින් ලංකාවෙ පාර්ලිමේන්තුවට තේරී පතුවුණු මන්ත්‍රීවරු 13ක්… ඔවුන් ලක්ෂ 20ක් ජනතාව නියෝජනය කරනවා… ඒ නියෝජිතයො ආවට පස්සෙ ජනාධිපතිවරයා මොනවද කරන්න ඕන. රත්මලානෙ කෝච්චි බලන එකද වැදගත්… උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්න ගැන කතාකරන්න ඇවිත් ඉන්න මන්ත්‍රීවරුද වැදගත්.“
“ඒ නිසා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ගිහින් කළ ඒ උද්ඝෝෂණය මා ඉතාම අගය කරනවා. මොකද අපි දැක්කා ඒ අවස්ථාව. ඩබ්ලියු.පී.සී.ල හිටියනම් එතුමියලව පිසිකලි හරි එතන නවත්වන්න උත්සාහ කරයි. පිරිමි පොලිස් නිලධාරීන් සිටිය නිසා අත තියන්න බයට එහෙම යන්න දුන්නේ.“
“උතුරු නැගෙනහිර අපි දකිනවා ඩබ්ලියු.පී.සී.ලා දාලා කකුල් පාගලා කාන්තාවන් නවත්වන විදිහ. ඒ නිසා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කළ උද්ඝෝෂණය ඉතාම වැදගත්. ඒ වගේම ඒ උද්ඝෝෂණයට පස්සේ එතුමියගෙ නිවස ඉදිරිපිටට ගිහින් කළ උද්ඝෝෂණය ඉතාම පහත්. පැහැදිලිව පේනවා දේශපාලන පසුබිමක් නැතිව එහෙම කරන්නෙ නෑ.“
ඒ වගේම කෝට්ටෙ මන්ත්‍රීතුමා මීට වඩා වැදගත් කියලයි හිතුවේ. ඒත් එතුමා ගිහින් බිත්තර ගහනවා සමගි ජනබලවේගයෙ කාර්යාලයට. මොකක්ද මේ පොදුජන පෙරමුණ පක්ෂයට වෙලා තියෙන්නෙ?. අද ආණ්ඩුව කරන්නේ පොදුජන පෙරමුණ ද? . සමගි ජනබලවේගය ද?.
විපක්ෂයේ ඉන්න අපි අහන්න ඕන ප්‍රශ්න ආණ්ඩු පක්ෂයෙ අය අහනවා.“
මන්ත්‍රීවරයා ඇසුවේය. ඔහු කීවේ අද කාන්තා දිනය දා තමන් ප්‍රකාශ කරන්නේ අසීමිත බාධක මැද පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට එන කාන්තාවන්ට මේ පාර්ලිමේන්තුව තුළ සලකන ආකාරය තමන්ට පිළිගත නොහැකි බවය.
රෝහිණි කවිරත්න මැතිණියට අතිශය අසභ්‍ය ප්‍රකාශයක් පාර්ලිමේන්තුව තුළ සිදුකළ තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාට එරෙහිව ගත් ක්‍රියාමාර්ගය කුමක් දැයි අධිකරණ අමාත්‍යවරයාගෙන් විමසන බව ඔහු කීවේය.
මේ වනවිට ආණ්ඩුවේ මාධ්‍ය සාකච්ඡාවල ප්‍රධානම කථිකයා වී ඇත්තේ තිස්ස කුට්ටිආරචිචි මන්ත්‍රීවරයා බවද ඔහු පෙන්වා දුන්නේය.







