සූරියවැව නුවන් ජයසේකර –
සූරියවැව මදුනාගල උණුදිය උල්පත් හි සේවය කරන සේවකයින් 14 දෙනෙක් උණු දිය උල්පත් සඳහා ප්රවේශවන ප්රධාන ගේට්ටුව සංචාරකයින්ට වසා දමා අද (23) උදෑසන විරෝධතාවයක් ආරම්භ කළේය.
සංචාරකයින්ට ඇතුළුවිය නොහැකි සේ උදෑසන 7 සිට ගේට්ටුව වසා විරෝධතාවය ආරම්භ කළ මෙම සේවකයින් පවසන්නේ වසර 07ක් තිස්සේ අනියම් සේවකයින් ලෙස සේවය කරන තමන්ගේ සේවය අවස්ථා කීපයක දී ස්ථිර කරන ලෙස ඉල්ලා සිටිය ද සාධාරණ විසඳුමක් ලබා නුදුන් බැවින් මෙම විරෝධතාවය ආරම්භ කළ බවය.
කෙසේ වෙතත් විරෝධතා ස්ථානයට පැමිණි සූරියවැව පොලිස් ස්ථානාධිපතිවරයා පැමිණ කරුණු පහදා අදාල නිලධාරියෙක් පැමිණ විසඳුමක් ලබා දෙන තුරු සංචාරකයින් වෙනුවෙන් ප්රධාන ප්රවේශය විවෘත කර දී තිබිණි. ඒ අනුව උදේ 10.30ට පමණ ගේට්ටුව සංචාරකයින් වෙනුවෙන් විවෘත විය. 
පොලිසියේ මැදිහත්වීම මත රුහුණු සංචාරක කාර්යාංශයේ දකුණු පළාත් සංචාරක කාර්යාලයේ නිලධාරියෙක් මෙම ස්ථානයට පැමිණෙමින් සිටින බව වාර්තා වේ.
එම නිලධාරියාගෙන් පිළිගත හැකි සාධාරණ විසඳුමක් නොලැබුනහොත් ගේට්ටුව වසා දමා යළිත් සිය විරෝධතාවය ආරම්භ කරන බව සේවකයෝ කියති.







