මංගල සමරවීර යනු මහත්මයෙක් බව ජනතා විමුක්ති පෙරමුණ ශෝක පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
“ඔහු, ඔහු නියෝජනය කළ දේශපාලන ධාරාවේ සිටි හොඳ මිනිසෙක්, හොඳ මහත්මයෙක්.. ඔහු කිසිවිටෙක දේශපාලනය වෙනුවෙන් ජාතිවාදය හෝ ආගම්වාදය යොදා ගත්තේ නැහැ. දේශපාලනයෙන් නිදහස් මතධාරියෙකු වූ ඔහු, තමන්ට දේශපාලන වශයෙන් අවාසිදායක තත්වයන් තුළදී පවා තම ප්‍රතිපත්ති මත පිහිටා සිටීමට සමත් වුනා“
ජනතා විමුක්ති පෙරමුණු දේශපාලන මණ්ඩලය නිවේදනය කළේය.
එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.
හිටපු අමාත්‍යවරයෙකු වූ මංගල සමරවීර මහතා කොවිඩ් රෝග තත්වය හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියෙදී අද (24) දින අභාවප්‍රාප්ත වී තිබේ.
මංගල සමරවීර මහතා විශ්වාස කළ දේශපාලන ගමන්මඟ පිළිබඳවත්, ඔහුගේ දේශපාලන දැක්ම පිළිබඳවත් ඔහු සහ අප අතර ඇත්තේ පැහැදිලි වෙනස්කමකි. එසේ වුවද ඔහු, ඔහු නියෝජනය කළ දේශපාලන ධාරාවේ සිටි හොඳ මිනිසෙක්, හොඳ මහත්මයෙක් විය.
ඔහු කිසිවිටෙක දේශපාලනය වෙනුවෙන් ජාතිවාදය හෝ ආගම්වාදය යොදා ගත්තේ නැත. දේශපාලනයෙන් නිදහස් මතධාරියෙකු වූ ඔහු, තමන්ට දේශපාලන වශයෙන් අවාසිදායක තත්වයන් තුළදී පවා තම ප්‍රතිපත්ති මත පිහිටා සිටීමට සමත් විය. රට තුළ මතු වූ ඇතැම් තීරණාත්මක දේශපාලන අවස්ථාවන්හිදී ඔහු අප සමග සමීපව කටයුතු කළ ආකාරයද මෙහිදී සිහිපත් කළ යුතුව තිබේ.
ඔහුගේ අභාවය වෙනුවෙන් ශෝක වන ඔහුගේ පවුලේ ඥාතීන්, හිතවතුන් ඇතුළු සියලු දෙනා සමඟ එම ශෝකය බෙදාගැනීමට අපිද එක්වෙමු.