-
නිදහස් පාපැදි සවාරියට මාස 03යි… පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවට නිදහස් සමරා දවස් 04ක් පැද්ද පැදිල්ලේ දුක ගැන ජයග්‍රාහකයෝ කියති!
75 වැනි නිදහස් දිනය නිමිත්තෙන් පසුගිය ජනවාරි මස 31 සිට පෙබරවාරි 3 දක්වා පැවැති නිදහස් පාපැදි සවාරිය නිමාවට පත්වී මාස තුනකට අධික කාලයක් ගතවූවත් එම තරගයේ ජයග්‍රාහකයන්ට මෙතෙක් තෑගි මුදල හෝ කුසලාන පිරිනැමීමක් සිදු වී නැති බව ලංකාසරට වාර්තා වේ.
පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා කිලෝමීටර් 571.5ක් ආවරණය කරමින් පැවැති දැවැන්ත පාපැදි සවාරිය ජනාධිපති කාර්යාලය, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මඟ පෙන්වීම මත යෞවන හා ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය විසින් සංවිධාන කරනු ලැබූ බව ද වාර්තා වේ.
දින 4ක් පුරා පැවැති මේ දැවැන්ත පාපැදි සවාරියේ අතිවිශාල තරගකරුවන් පිරිසක් සහභාගි වී ඇති අතර, ජයග්‍රාහකයාට මුදලින් රුපියල් ලක්ෂ හතහමාරක් ද, දෙවැනි ස්ථානයට රුපියල් ලක්ෂ පහක් ද, තුන්වැනි ස්ථානයට ලක්ෂ දෙකහමාරක් ද පිරිනැමෙන බව තරගයට දින ගණනාවක සිට නිවේදනය කර තිබේ.
එහෙත් තරගයේ අවසන් දිනයේ දෙවුන්දර තුඩුවෙන් තරගය නිමාවට පත්වීමෙන් පසු මුදල් ත්‍යාග හෝ කුසලාන පිරිනැමීමක් සිදුවී නැති අතර, පසුව එම ත්‍යාග මුදල් ලබා දෙන බවට පාපැදි සම්මේලනය තරගකකරුවන්ට පොරොන්දු වී තිබේ. තරගයේ පිරිනැමෙන බව නිවේදනය කර ඇති සමස්ත ත්‍යාග මුදල රුපියල් ලක්ෂ 25කට අධික බව ද වාර්තා වේ.
සිව්වැනි ස්ථානයේ සිට දසවැනි ස්ථානය දක්වා ද මුදල් ත්‍යාග පිරිනැමෙන බවත්, කණ්ඩායම් ජයග්‍රාහකයන්ට, එක් එක් දිනයේ තරගය ජයගන්නා තරගකරුවන්ට, අවුරුදු 23න් පහළ දක්ෂතම තරගකරුවාට ද ත්‍යාග පිරිනැමෙන බව දැනුම්දී තිබුණ ද ඒ කිසිදු ත්‍යාගයක් අද වනතුරු ලැබී නැතැයි ඊට සහභාගි වී ජයග්‍රහණ අත්කරගත් තරගකරුවෝ මැසිවිලි නඟන බව ද වාර්තා වේ.
සමස්ත තරගයේ පළමු, දෙවැනි හා තුන්වැනි ස්ථාන අත්කර ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ තරගකරුවන් සමත් වී ඇති අතර, ගුවන් හමුදාව, නාවික හමුදාව, වරාය අධිකාරිය ඇතුළු රජයේ ආයතන රැසක තරගකරුවන් ජයග්‍රහණ අත්කර ගැනීමට සමත්වී තිබේ.
අභිමානවත් නිදහස සමරමින් මෙවැනි දැවැන්ත පාපැදි සවාරියක් පැවැත්වූවද ඒ සඳහා තරගකරුවන්ගේ මුදල් ත්‍යාග පිරිනැමීම සම්බන්ධව පාපැදි සම්මේලය තරගකරුවන්ට පවසා ඇත්තේ භාණ්ඩාගාරයේ මුදල් නැති බවය.