යහපාලන සමයේ මුදලට බොරු කී පුද්ගලයින් අද මහජන මුදල් වියදම් කර තමන් කී බොරු ඇත්තක් කිරීම සඳහා අධිකරණය පොලිසිය හා නීතිපති දෙපාර්තමේන්තුව භාවිතා කිරීමට උත්සාහ කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කලේ මාතර කඹුරුපිටිය ගමින් ගමට වැඩසටහන අතරතුර මාධ්‍යවේදීන් විසින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ පැවසුවේ මෙම බොරු ප්‍රකාශ කරමින් දඟලන පුද්ගලයින් තමන් බොරුව ජනතගත කිරීම සඳහා මහජන මුදල් ද අවභාවිතා කළ බව දැනගෙන දඟලන ලෙසද අනතුරු ඇඟවූයේය.
නාමල් රාජපක්ෂ මෙසේ ද කීවේය.
“ප්‍රාදේශීය සභා මැතිවරණ වෙනකොට අපි ශක්තිමත් බලවේගයක් විදියට ගොඩනැගුණා. අපිට විශාල ඡන්ද ප්‍රමාණයක් වැඩි වුණා. අපි දකිනවා යහපාලන ආණ්ඩුව ගොඩනගන කොට මූලික වෙච්ච බොහෝ පිරිස් අද මාධ්‍යයට ඇවිල්ලා ප්‍රකාශ කරනවා තමන් එදා රාජපක්ෂලට එදා තිබිච්ච ආණ්ඩුවට මඩ ගහන්න කොහොමද මුදල් වියදම් කළේ කියලා. ඒ මුදල් ගත්තු අය ගැනත් කියනවා. මොන සංවිධානද මොන දේශපාලන පක්ෂද කියලා.
ඉතින් එහෙම තමයි මේ බොරුව සමාජගත කළේ. හැබැයි යහපාලන කාලෙ සල්ලි අරන් බොරු කියපු අය අද මහජන මුදල් වියදම් කරලා තමන් කියපු බොරු ඇත්තක් කියලා ඔප්පු කරන්න අධිකරණය පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව පාවිච්චි කරන්න උත්සාහ කරනවා.
ඉතිං ඒකෙන් සමස්ත රටම සමාජයම මේ රාජ්‍ය යාන්ත්‍රණයම කඩාගෙන වැටෙනවා. යම් දිනෙක මේවටත් ඒ අයට වගකියන්න වෙයි. සල්ලි වලට බොරු කියලා දැන් රටේ දේපළ පාවිච්චි කරලා ඒ බොරු ඇත්ත කරන්න උත්සාහ කරනවා නම් ඒක තමයි ලොකුම අපරාධය.
එක පැත්තකින් චරිතඝාතනය කරනවා පුද්ගලයන්ගේ. බොරුව සමාජගත කරනවා. සමාජය වෛරය ඉරිසියාව කුහකත්වය ක්‍රෝධය පතුරනවා. අනිත් පැත්තෙන් තමන්ගේ බොරුව ඇත්ත කියලා කියන්න ඕන හින්දා මිනිස්සුන්ගේ බදු මුදල් වියදම් කරනවා. ඉතින් ඒක තමයි සැබෑ අවභාවිතය .ඉතින් ඒකත් මතක තියාගන්න ඔය දඟලන අය.” නාමල් රාජපක්ෂ කීවේය.







