කීර්ත් ප්රනාන්දු –
සීදුව රද්දොලුගම සාම මාවත පාලු නිවසක තිබී වයස අවුරුදු හතරක දැරියකගේ මළ සිරුරක් ඊයේ (26) පස්වරුවේ දි හමුවි තිබිණි.
මිය ගිය දැරියගේ සිරුරට නුදුරින් ගෙල වැල ලාගෙන මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් ද පොලිසිය විසින් සොයා ගත්තේය.
ජනෙල් දොරවල් පවා නැති මේ නිවසේ බාල්කයක එල්ලී පුද්ගලයා මිය ගොස් තිබිණි. එසේ මිය ගොස් තිබුනේ මිය ගිය දැරියගේ පියාගේ සොයුරෙකි. එනම් ඥාතිකමට ඇයගේ මාමා ය.
වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය.
මළ සිරුරු හමුවන ගෙදර මිය ගිය දැරියගේ පියාගේ මහ ගෙදරය. එම නිවසේ දැරියත් දැරියගේ මවත්, පියාත්, ගෙල වැල ලාගෙන මියගොස් ඇති පියාගේ සොයුරාත් ජීවත් වී ඇත.
දැරියගේ මව ගාමන්ට් ෆැක්ටරිකය වැඩට යන අතර පියාගේ රැකියාව කුළී වැඩය. මවත් පියාත් වැඩට යන්නේ දැරිය පියාගේ සොයුරා, එනම් දැරියගේ මාමා භාරයට පත් කරමිනි.
පසුගිය වකවානුවේ මෙම පුද්ගලයින් මහ ගෙදර ඇපයට තබා බැංකු ණයක් ගෙන තිබේ. එහෙත් බැංකු ණය ගෙවා ගත නොහැකිව නිවස බැංකුවට සින්න වී ඇත.
අනතුරුව මෙම සිවු දෙනා කොටුගොඩ ප්රදේශයේ කුලී නිවසකට පැමිණ ජීවිත් වෙමින් තිබේ. සිද්ධිය වාර්තා වන්නේ ඉන් පසුවය.
සුපුරුදු පරිදි දැරිය මෙම පුද්ගලයාට භාර දී මවත් පියාත් රැකියා සඳහා පිටත් වී ගිය පසු මෙම පුද්ගලයා දැරියත් රැගෙන බැංකුවට සින්න වූ මහ ගෙදරට පැමිණ දැරිය ගෙල මිරිකා මරා ඔහු සිය දිවි හානි කරගෙන ඇති බව විමර්ශන අංශ සැක කරයි.
මේ මරණ දෙකට නිශ්ඡිත හේතුවක් මෙතෙක් ප්රකාශ වී නොමැත . සීදුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.







