පසුගිය රජය අවසන් දින සති කීපය තුළ නිකුත් කළ බාර් පර්මිට් ලබා ගත් මන්ත්‍රීවරුන්ගේ ලයිස්තුවට අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස පැවසුවේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (04) මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශානක්ඛියන් රාසමාණික්කම් මන්ත්‍රීවරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු සපයමිනි.
රාසමාණික්කම් මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේය.
“උතුරු පළාතේ ඉන්න මන්ත්‍රීවරුන්ටත් බාර් පර්මිට් තියනවා කියලා කිව්වා. විග්නේෂ්වරන් මන්ත්‍රීතුමා ඒක පිළිගත්තා. ඇයි ඒ ලයිස්තුවෙ ඉතිරි ටික තාම දැම්මෙ නැත්තේ..
අපිට කිව්වා මේ බාර් පර්මිට් ගැන විස්තර තියනවා කියලා. ඒවා ගැන පරික්ෂණ පවත්වන්න. රටේ ජනතාව දැනගන්න ඕන මේ බාර් පර්මිට් ගත්ත මන්ත්‍රීවරු කවුද කියලා. ඇයි මේක කියන්නෙ නැත්තේ.
වංචා දූෂණ සම්බන්ධව මේ ආණ්ඩුව දිගටම කටයුතු කරගෙන යනවා නම් අපි ඒකට සහයෝගය දෙනවා. රටේ ජනතාවත් ඒක බලාගෙන ඉන්නේ. රාසමාණික්කම් මන්ත්‍රිවරයා පැවසුවේය.
ඒ අවස්ථාවේ දී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ අද සවස එම ලයිස්තුව පාර්ලිමේන්තුවට ඉදිරපත් කරන බවත් ඒ සම්බන්ධයෙන් පරික්ෂණයක් ඇරඹී ඇති බවත්ය.







