දිනසේන රතුගමගේ –
කිළිනොච්චියේ සිට යාපනයට ගුරුවරුන් රැගෙන යමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් පලෙයි ප්‍රදේශයේදී අතරමග බලහත්කාරයෙන් නතර කළ මැරයින් පිරිසක් ගුරුවරුන්ට පහර දී තිබේ.

ඊයේ (18) හවස සිදුකල මෙම පහර දීම නිසා බස් රථයේ සිටි ගුරුවරුන් හතර දෙනෙකු තුවාල ලබා තිබේ.
බස් රථය නතර කරවා ගත් මැරයින් ඉවක් බවක් නොමැතිව බස් රථය තුළ සිටි ගුරුවරුන්ට පහර දෙන්නට පටන් ගැනීමත් සමගම ගුරුවරියන් මහා හඩින් කෑ ගැසීම නිසා එම ස්ථානයට ගම්මුන් පිරිසක් පැමිණ ඇත.
ඒ සමගම පහර දීම නවතා දැමූ පිරිස යතුරු පැදි වල නැගී පලා ගොස් තිබේ.
ප්‍රහාරය එල්ල කළ පිරිස හිස්වැසුම් පැළද සිටීම නිසා ඔවුන්ව හඳුණා ගැනීමට බස් රථයේ සිටි ගුරුවරුන්ට නොහැකි වී ඇති අතර මෙම ප්‍රහාරයට හේතුව කුමක්දැයි මෙතෙක් හෙළි වී නොමැත.
සිද්ධියට මුහුණ දුන් ගුරුවරුන් ඒ පිළිබඳව පලෙයි පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව පරීක්ෂණ ආරම්භ කොට තිබේ.







