ඉඳුනිල් කහටපිටිය –
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක විසින් අවුරුදු 133ක් පැරණී මේ රටේ අතිශයින්ම වටිනා ජීවමාන ශාස්ත්‍රීය ආයතනය වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිශ්චිත ලෙසම ව්‍යසනයට ලක් කිරීමේ අශිෂ්ට තීන්දුව අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට අපේක්ෂා කරන බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.
ජාතික උරුම කළමනාකරණයේ දි කුමණ හෝ අඩුපාඩු යටතේ වුව ද දේශපාලන හෝ වෙනයම් මැදිහත්වීම්වලට යම් පමණකට අභියෝග කරමින් ජාතික උරුමය රැක ගැනීමේ පෞරුෂයක් සහිත මෙම ශාස්ත්‍රීය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කිරීමේ මෙතෙක් පැවති ක්‍රමවේදය මුලුමනින්ම වෙනස් කර දේශපාලන බල අධිකාරියට අවශ්‍ය පුද්ගලයෙක් පත් කර ගැනීම අරමුණු කරගත් ක්‍රමවේදයක් කැබිනට් මණ්ඩලය හරහා තහවුරු කරගැනීම අද සිදුකරන බව එම ආරංචි මාර්ග කියයි.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් පත්කිරීමට පැවති ක්‍රමය –
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙනම අණ පනත් රැසකින් ආවරණය වුන, වෙනම ශාස්ත්‍රීය විෂය පථයක් ප්‍රායෝගික කරනු ලබන ආයතනයකි. එම ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස 2021 වසර දක්වා පත්වූයේ දෙපාර්තමේන්තුව තුළම එම පරිචය, අත්දැකීම් සහ ශික්ෂණය ලැබූ පුද්ගලයෙක්. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් වූයේය. විද්‍යාත්මක ශාස්ත්‍රීය ආයතනවල ප්‍රධානියෙක් පත් වීමේ ක්‍රමවේදය එයය. දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස පත් වෙන්නේ එම ආයතනය තුළම අත්දැකීම් ලද පරිණතම ඉංජිනේරුවරයා ය. නාරා වැනි පර්යේෂණ ආයතනවල ප්‍රධානියා වන්නේත් වීෂය සම්බන්ධව ප්‍රායෝගිකව ශික්ෂණය ලද ජ්‍යෙෂ්ඨම විද්‍යාඥයා ය. එසේ නැතිව දේශපාලන සට්ටඹියන් නොවේ.
මේ රටේ මුල්ම ශ්‍රී ලාංකේය පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ගේ ගෙන් පටන් ගත්තත් වර්ෂ 2020 වසරේ දී විශ්‍රාම ගිය ආචාර්ය සෙරනරත් දිසානායක දක්වා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වූයේ එම පරිසරය තුළම පර්යේෂණ කරමින්, අධ්‍යයනය කරමින්, ප්‍රයෝගිකව එහි නිමග්න වී සිටි ශාස්ත්‍රීය බුද්ධිමතුන්ය. සෙනරත් දිසානායකයන්ට පෙර අධ්‍යක්ෂ ජනරාල් ධූරය හෙබවූ ආචාර්ය සිරාන් දැරණියගල ඒ අයුරින් පරිචයක් ලබා ලෝක සම්භවනාවට ලක් වූ විද්වතෙකි.
මේ සම්ප්‍රදාය දේශපාලනය විසින් බිඳ දමන්නේ වර්ෂ 2021 ජනවාරි මස 01 වැනිදා ය. ඉතිහාසයේ පළමු වරට එවකට සිටි සංස්කෘතික ඇමති මහින්ද රාජපක්ෂ තමන්ගේ දේශපාලන බත් බැලයෙක් වූ, විශ්වවිද්‍යාල මහචාර්යවරයෙක් වුව ද මේ විෂයේ ප්‍රායෝගික අත්දැකීමක් නැති, ප්‍රශ්නගත අවස්ථාවකට මුහුණ දිය හැකි දැනුමක් හෝ පෞරුෂයක් නැති අනුර මනතුංග දේශපාලන පත්වීමක් ලෙස දෙපාර්තමේන්තුවට උඩින් පාත් කළේය.
එය මොනතරම් මුග්ධ දේශපාලන තීන්දුවක්දැයි රටට වැටහුනේ උතුරේ කුරුන්දිමලේ විහාරය සම්බන්ධ ප්‍රශ්නය ජනාධිපතිවරයා විසින් දේශපාලනිකව මතුකළ අවස්ථාවේ දී ඊට ශාස්ත්‍රීයවූත් සාධාරණ වූත් පිළිතුරක් ලබා දිය නොහැකිව ගොබ්බයෙක් සේ හැසිරී අනතුරුව ඊට සති කීපයකට පසු, පසුගිය ජූනි 15 වැනිදා තනතුර අත් හැර පලා යෑමෙනි.
මාස 04යි.. වැඩ බලන්න අධ්‍යක්ෂ ජනරාල්වරු 04යි…
එතැන් සිට වත්මන් ඇමතිවරයා විසින් මේ වනතුරු වැඩ බැලීම සඳහා බව පවසමින් පුද්ගලයින් 03ක් පත් කර ඇති අතර අද තවත් පුද්ගලයෙක් සදහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නියමිතව තිබේ.
මහාචාර්ය අනුර මනතුංග පසුගිය ජූනි මස 15 වැනිදා පලා ගිය පසු ඇමතිවරයා විසින් “රාජකාරි ඉටු කිරීම සදහා” බව පවසමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්ව සිටි ආචාර්ය ප්‍රදීපා සේරසිංහව පත් කලේය. ඇය පසුගිය ඔක්තොම්බර් 16 දා සේවයෙන් විශ්‍රාම ගියාය. ඔක්තොම්බර් 17 සහ 18 දෙදින දෙපාර්තමේන්තුවට ප්‍රධානියෙක් හිටියේ නැත. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් හිටියේ නැත.
මෙවැනි තත්ත්වයක දී වගකීම් දරා ගැනීම සඳහා අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ශාස්ත්‍රීය ලෙස තනතුරක් රාජ්‍ය සේවා කොමිසමෙන් අනුමත කර තිබිණි. වසරක කාලයක් වලංගුවන එම තනතුර සෑම වසරකම රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය සහිතව දීර්ඝ කරගත යුතු වූයේය.
එම තනතුර දරමින් සිටියේ දෙපාර්තමේන්තුවේ ඉහළම සුදුසකම් සහිත ශාස්ත්‍රීය විද්වතෙකි. ඔහු සමග ඇති වූ පුද්ගලික වෛරයක් පිරිමසා ගැනීම සඳහා මේ ඇමතිතැන වාර්ෂික දීර්ඝ කිරිම සඳහා අනුමැතිය ලබා ගැනීමට අදාල ලේඛන රාජ්‍ය සේවා කොමිසමට යැව්වේ නැත. මේ වනවිට ඒ තනතුර පවතින්නේ අහෝසි වී ය.
මේ තත්ත්වය තුළ ප්‍රධානියෙක් නැති ආයතනයේ ලියුම් සඳහා අත්සන් කිරීමට බව ප්‍රකාශ කරමින් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ පත් කිරීමට ඇමති තැන කටයුතු කළේය. ඒ පුද්ගලයාත් අතිශය අමාරු අඩියකට පත් කරමින් ඔහුව දින හතරක් ලියුම්වලට අත්සන් කිරීමේ වැඩේට පත් කරගෙන 23 වැනිදා ඒ තනතුරින් ඉවත් කළේය.
24 වැනිදා සිට මේ වනතුරු සතියක් ආයතනයට ප්‍රධානියෙක් නැත. මේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානම රාජකාරි ධාරවේ කොටසක් වන්නේ පුරා වස්තු සම්බන්ධව පුරාවිද්‍යා ආඥා පනත යටතේ පනවන නඩු කටයුතුය. ඒ නඩු කටයුතු සම්බන්ධ ලේඛනවලට අත්සන් කිරීමට වගකිවයුතු ප්‍රධානියෙක් මේ වනවිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නැත. මේ හේතුවෙන් වැටලීම් වලදී අත් අඩංගුවට ගත් සමහර නිදොස් පුද්ගලයින් නිරපරාදේ හිර ගෙවල්වලය.
මේ අරාජික තත්තවය තුළ ඇමති අද යළිත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට හදන්නේය. එහි ප්‍රධාන කරුණු දෙක්ක අන්තර්ගතය. පළවෙනි කාරණාව බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නිශාන්ති ජයසිංහ වැඩ බලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලබා ගැනීමය. එම අනුමැතිය ලැබීමෙන් පසු මාස 04ක් තුළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පත් වූ හතරවන වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ති ජයසිංහය.
දෙවැනි කාරණාව ලංකාව පුරා අයදුම්පත් කැඳවා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කරගැනීමේ ක්‍රමවේදයකට අනුමැතිය ලබා ගැනීමය.
දේශපාලනය කල විනාශය
මහින්ද රාජපක්ෂ විසින් එවූ අනුර මනතුංග නැමැති මහාචාර්යකමට වහන් වූ දේශපාලන රූකඩය පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කිරීමෙන් පසු දෙපාර්තමේන්තුවට අත් වූ ඉරණමේ දිගුව දේශපාලන ජඩකම් ශාස්ත්‍රීය ආයතනයක් තුළ හැසිරවීමෙන් සිදුවන විනාශය නිවැරදි කරගැනීමට ඓතිහාසික පාඩම් මාලාවක් සපයා තිබේ. එසේ තිබෙද්දී මේ ගොබ්බ ඇමති හදන්නේ මහින්ද රාජපක්ෂ ආයතනය තුළ ස්ථාපිත කළ එම දේශපාලන කුපාඩිකම කැබිනට් මණ්ඩලය හරහා අනුමත කරගෙන වලංගුභාවයට පත් කරගැනීමටය.
ඉතාම පැහැදිලිව විමසිය යුතු කරුණක් ඇත. අවුරුදු 130කට ආසන්න කාලයක් ඉතාම විශිෂ්ටම ශාස්ත්‍රීය ආයතනයක් තුළ ඵලදායීව සහ රාජ්‍ය සම්මතව පැවති සුදුසුකම් සම්පූර්ණ කළ ජ්‍යෙෂ්ඨ ශාස්ත්‍රීය විද්වතාට ආයතන ප්‍රධානියා විමේ හැකියාව සහිත ක්‍රමවේදය වෙනස් කිරීමේ අවශ්‍යතාවය දේශපාලනයට පෙර ආයතනය තුළම ඇති වූ බල පොරයකින් මතුවූවකි. ඒ විරසකය දේශපාලනය සිය අතට රැගෙන කරන විනාශය දැන් පල දී ඇත්තේ පුරාවිද්‍යා දෙපාරත්මේන්තුවට පමණක් නොව මුලු ජාතියටමය.
උකුණු හිසක මොළයක් ඇතිනම්…
දැන් මේ ගොබ්බ ඇමතිගෙන් අහන්නට යමක් තිබේ. කැබිනට් පත්‍රිකාව යොමු කරන්නට පෙර උකුණු හිසක් තරම් මොළයක් ඇතිනම් ජාතියේ සාපයට ලක් නොවී මේ ගැන සිතා බැලිය යුතුය.
අවුරුදු 130ක් තිස්සේ පැවිති නිශ්ඡිත ශාස්ත්‍රීය ක්‍රමවේදය වෙනස් කර ඊට නෛතික වලංගුභාවයක් ලබා දිමේ අවශ්‍යතාවය කුමක් ද?. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වැනි සංවෘත ශාස්ත්‍රීය ආයතනයක, වෙනම දැනුමක් සහ ප්‍රායෝගිකව අත් දැකිය යුතු ක්‍රමවේදයක් අනුගමනය කිරීමට අවශ්‍ය ආයතනයක පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉන්ටර්විව් කරන්නේ කවුද?. ඔබ ද?.
අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ශාස්ත්‍රීය තනතුර රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ලත් තනතුරක් වී තිබිය දී එම තනතුර හිතා මතා අවලංගු වීමට හැරියේ ඇයි. එසේ කිරීමේ පදනම කුමක් ද?
වැදගත්ම දේ… දැනට මෙම තනතුර දැරීමට සුදුසුකම් සැපිරූ ශාස්ත්‍රීය විද්වතුන් දෙපාර්තමේන්තුව තුළ සිටිය දී, ඒ තනතුරට පත්වීම සඳහා රාජ්‍ය සම්මත ක්‍රමයක් පවතිද්දී එයට ඉඩ නොදී ඔබ කරන මේ අපරාධය කුමක් ද?. ඉන් ඔබ බලාපරෛාත්තු වන්නේ මොනවා ද?
මේ ආණ්ඩුවට මේ වනවිට එල්ල වී ඇති ජනතා විරෝධය හොඳටම ප්‍රමාණවත් බව ඔබට ලියා තබමි. මේ අපරාධය කර ආණ්ඩුව සොහොන් වුන දවසට වළටත් හෙණ ගහන මට්ටමට ජනතාව පත් නොකිරීමේ වගකීම කැබිනට් ඇමතිවරයෙක් ලෙස, ඇමති තුමනි ඔබට තිබේ.
ඔබෙන් අහන්නට ඇත්තේ දේශපාලනයට අවශ්‍ය පත් කිරීම් කර රෙදි ගලවාගත් පසු හෙළුවෙන් සිටීම යහපත් බව ඔබට සිතේ නම් ඔබ සිටිය යුත්තේ කැබිනට් මණ්ඩලයේ නොව, අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ බවය.







