පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වී දැනට ජීවතුන් අතර සිටින්නේ සාරා නමැති කාන්තාව පමණක් බවත් ඉන්දියාවට පළා ගොස් සිටින ඇය වහාම ලංකාවට ගෙන්වාගෙන බෝම්බ ප්‍රහාරය පිටුපස සිටින හස්තය රටට හෙළි කර ගැනීමට රජය වහාම ක්‍රියා කළ යුතු බවත් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්ට නිසි දඩුවම් ලබාදෙන බව වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ පිරිස පසුගිය මැතිවරණයේදී ජනතාවට පොරොන්දු වුවද තවමත් සාරා ලංකාවට ගෙන්වාගැනීමට ක්‍රියා නොකිරීම බරපතළ ගැටලුවක් බවට පත්ව තිබෙන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කොළඹදී අද (16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළ මුජිබර් රහුමාන් මහතා සාරා නමැති කාන්තාව වහාම මෙරටට ගෙන්වා ගන්නා ලෙස පාස්කු ප්‍රහාරය සම්බන්ධව සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ තමා ප්‍රකාශ කළ බව ද හෙතෙම සඳහන් කළේය.
පාස්කු ප්‍රහාරය සිදු කළේ කුමන පාර්ශ්වයකගේ අවශ්‍යතාවයට ද එහි අරමුණ කුමක්ද එහි පිටුපස සිටි හස්තය කවුද ආදී සියලු තොරතුරු සරාගෙන් හෙළිකරගත හැකි බව මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි.
සාරාට රටින් පිටවීමට උදව් කළ පොලිස් නිලධාරියා ද මේ වන විට අත්අඩංගුවේ සිටින බවත් ඉන්දියානු රජයේ සහයෝගය ලබාගෙන සාරා ගෙන්වා ගැනීමට රජය නොපමාව කටයුතු කළ යුතු බවත් වැඩිදුරටත් සඳහන් කළේය.