අකිත පෙරේරා –
විසුරුවා ඇති පළාත් පාලන ආයතන යළි කැඳවීමේ අරමුණින් ඉදිරිපත් කර ඇති ප්‍රාදේශීය සභා සංශෝධන යන නව සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එය සම්මත කිරීමට නම් පාර්ලිමේන්තු තුනෙන් දෙකේ විශේෂ බලයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බවත් නීතිපති දෙපාර්තමේන්තුව දන්වා සිටී.
පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පත් කළ මන්ත්‍රී ජයන්ත කැටගොඩ පාර්ලිමේන්තුවට පසුගිය 05දා ඉදිරිපත් කළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මතය දක්වමින් එම දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුව වෙත මෙම දැනුම්දීම සිදු කර තිබේ.
ඒ අනුව විසුරුවා ඇති පළාත් පාලන ආයතන නැවත කැඳවීම සඳහා යෝජනා කර ඇති මෙම පනතේ සඳහන් ‘අර්බුදය’ නමැති ප්‍රකාශනය නොපැහැදිලි මෙන්ම නිශ්චිත අර්ථ නිරූපණයක් නොකරන බව ද සඳහන් කර ඇත.
එහිදී විසුරුවා ඇති පළාත් පාලන ආයතන නැවත කැඳවීම සඳහා විෂයභාර ඇමැතිවරයාට ලබා දෙනු ලබන බලය සම්බන්ධයෙන්වන පසුබිම සහ කාර්ය පටිපාටිය සම්බන්ධයෙන් මෙම පනත මගින් පැහැදිලි කර නොමැති
බව ද සඳහන් කර තිබේ. දැනට විසුරුවා ඇති පළාත් පාලන ආයතන නැවත දින නියමයක් නොමැති කාල පරිච්ඡේදයකට කැඳවීමේ හැකියාවක් මෙම පනතෙන් දී ඇති බවත් එහිදී සිය ධුර කාලයන් ඉක්මවා සිටින හිටපු මන්ත්‍රීවරුන්ට දින නියමයක් නොමැතිව ජනවරමකින් තොරව නැවත මන්ත්‍රී ධුරයට පත් කෙරෙන බැවින් එය මූලික මිනිස් අයිතිවාසිකම්වලට ද බලපෑමක් සිදු කෙරෙන බවටත් සඳහන් වේ.
එබැවින් මෙම පනත් කෙටුම්පතේ දෙවැනි වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3,4,12(1) සහ 14(1) යන ව්‍යවස්ථා සමග අනනුකූල වන අතර මෙය නීතියක් වශයෙන් ගෙන එන්නේ නම් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු මෙන්ම ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කළ යුතුවේ යැයි ද දන්වමින් රජයේ නීතිඥ රුෂානි අබේකෝන්ගේ අත්සනින් යුතුව පසුගිය 06 වැනිදා පාර්ලිමේන්තුව වෙත දන්වා ඇත.
මෙම පනත ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා ආදී වශයෙන් සංශෝධන පනත් කෙටුම්පත් 03ක් පුද්ගලික මන්ත්‍රී යෝජනා ලෙස පත් කළ මන්ත්‍රී ජයන්ත කැටගොඩ විසින් පාර්ලිමේන්තුවට පසුගිය 05 දා ඉදිරිපත් කළ අතර යෝජනා තුනම කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී සංජීව එදිරිමාන්න විසින් එදින ස්ථීර කරනු ලැබීය. – දිවයින