ලලිත් චාමින්ද –
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා පසුගිය වසර තුන තුළදි එවකට පැවති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශය විසින් සහ ජාතික අධ්‍යාපන ආයතනය විසින් රුපියල් පන්සිය පනස් හය කෝටි, අනු අට ලක්ෂ, හතලිස් නවදහස්, හත්සිය අසුතුනක (5,569,849,783) මුදලක් වැයකොට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රාජ්‍ය අමාත්‍යංශය විසින් පසුගිය වසර තුන තුළදි (2020-2022) වැයකොට ඇති මුදල රුපියල් පන්සිය විසි එක්කෝටි, අනු දෙලක්ෂ, අනු හත්දහස්, තුන්සිය අනුවකි (5,219,297,390).
එහෙත් රාජ්‍ය අමාත්‍යංශයට සැලසුම් කළ පරිදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරිමට නොහැකිවි තිබුණි. 2022 වර්ෂයේ දි මෙම රාජ්‍ය අමාත්‍යංශය අහෝසි වි තිබු අතර විෂය පථයට අයත්ව තිබු කාර්යයන් සහ කර්තව්‍යන් එදින සිට අධ්‍යාපන අමාත්‍යංශය වෙත පවරා තිබුණි.
ජාතික අධ්‍යාපන ආයතනය විසින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු සදහා වැයකොට ඇති මුදල රුපියල් තිස්පන් කෝටි, පන් ලක්ෂ, පනස් දෙදහස් ,තුන්සිය අනු තුනකි (350,552,393 ). එමෙන්ම ජාතික අධ්‍යාපන අයතනය විසින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා රූපවාහිණි වැඩසටහන් පහක් නිෂ්පාදනය කිරීමට රුපියල් එක්කෝටි, පනස් හතර ලක්ෂ දොළොස්දහස්, එකසිය පනහක (15,412,150) මුදලක් වැයකොට තිබුණි. 2022 වර්ෂයේ දි මෙම රූපවාහිණි වැඩසටහන් නිෂ්පාදනය කොට තිබු අතර මේ වන තෙක් එය ප්‍රචාරය කොට නොතිබුණි. මෙම රූපවාහිණි වැඩසටහන් 05 නිෂ්පාදනය කිරිම සඳහා “ සැලසිනේ″ රූපවාහිණි ආයතනය සමග ජාතික අධ්‍යාපන ආයතනය විසින් 2021 වර්ෂයේ දෙසැම්බර් 24 වැනිදින ගිවිසුම් ගතව තිබුණි.
රජය මගින් ලබන වසරේ සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සැලසුම්කොට ඇති අතර ඒ පිළිබඳ විවාදාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබේ.







