දායක මුදල් නොගෙවීම සම්බන්ධයෙන් සේවා නියුක්තියන්ගේ බාර අරමුදල් මණ්ඩලයේ මහනුවර ප්රාදේශීය කාර්යාලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ පුද්ගලයෙකුට දුරුතු පුන් පොහෝ දින විමර්ශනයට පැමිණෙන ලෙස අදාළ කාර්යාලයේ ප්රාදේශීය කළමනාකරුගේ අත්සනින් යුතු ලිපියක් යොමු කර තිබේ.
අදාළ දිනය රජයේ නිවාඩු දිනයක් බැවින් එදිනට විමර්ශන කටයුතු සිදු කරන්නේ ද යන්න විමසූ අවස්ථාවේ සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සේවකයෙකු පවසා ඇත්තේ එම ලිපිය වැරදීමකින් යොමුකර තිබෙන බවයි.
අදාළ විමර්ශනය සඳහා දෙසැම්බර් 08 වැනි දින පැමිණෙන ලෙස සේවා නියුක්තියන්ගේ බාර අරමුදල් මණ්ඩල දැනුම් දුන් බවත් එදිනට පැමිණිය නොහැකි බව දැනුම් දීමෙන් පසු ඔවුන් ජනවාරී මස 06 වැනි දින පෙරවරු 10.00 ට පැමිණෙන ලෙස දන්වමින් තමන්ට ලිපියක් එවා තිබූ බවත් පැමිණිලිකරු වන ටී.පී.ජි සුදත් කීය.
එදින රජයේ නිවාඩු දිනයක් බැවින් නිලධාරීන් රාජකාරී කරන්නේ ද යන්න දැන ගැනීමට දුරකතනයෙන් කතා කළ අවස්ථාවේ අදාළ කාර්යය සිදු කරන නිලධාරී කාර්යාලයේ නොමැති බැවින් විනාඩි 30 කින් නැවත ඇමැතුමක් ගන්නා ලෙස දැනුම් දුන්නේ යැයි ඔහු පැවසීය.
යළි විනාඩි 30 කට පසු ඇමැතුම ලබාගත් අවස්ථාවේ අදාළ ලිපිය වැරදීමකින් යොමුකර තිබෙන බවත් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට එළඹෙන 08 වැනි දින පැමිණෙන ලෙස දැනුම් දුන් බවත් ඔහු ප්රකාශ කළේය.