හැටන් රංජිත් රාජපක්ෂ –
සහල් තොග වෙළෙඳුන් විසින් පාලන මිලට වඩා වැඩි මිලකට සහල් තොග නිකුත් කිරීම නිසා පාලන මිල ඉක්මවා තමන්ට සිල්ලර මිලට සහල් අලෙවි කිරීමට සිදු වී ඇති බව නුවරඑලිය දිස්ත්‍රික්කයේ සහල් වෙළෙඳුන් කියා සිටියි.
නාඩු සහල් කිලෝවක පාලන මිල රු 220 වන අතර, සම්බා සහල් කිලෝවක පාලන මිල 230 ක් වශයෙන් අලෙවි කළ යුතු බව පාරිභෝගික සේවා අධිකාරිය විසින් නියම කර ඇත.
එසේ පාලන මිල නියම කර තිබියදි සහල් තොග වෙළෙඳුන් විසින් නාඩු සහල් කිලෝවක් රු 235 සහ සම්බා සහල් කිලෝවක් රු 245 වැනි තොග මිලකට තමන්ට නිකුත් කිරීම හමුවේ සහල් පාලන මිලට අලෙවි කිරීමට නොහැකි බව සහල් වෙළෙන්දෝ පවසති.
සහල් තොග වෙළෙඳුන් විසින් සහල් පාලන මිලට වඩා රුපියලක් අඩුවෙන් බිල්පතේ සඳහන් කර වැඩිකළ මුදල වෙනම ලබා ගන්නා බව සිල්ලර වෙළෙන්දෝ පවසති.
තවද කීරි සම්බා කිලෝ 11000 ක් මිල දි ගන්නා සහල් තොග වෙළෙඳුන්ට නාඩු සහල් කිලෝ 5000 ක් නිකුත් කරන බවත්, කීරි සම්බා කිලෝවක් රු 254 කට සහල් මොල්කරුවන් විසින් නිකුත් කරන බවත්, කීරි සම්බා සහල් පමණක් රු 260 ක පාලන මිලට අලෙවි කළ හැකි බව නුවරඑලිය දිස්ත්‍රික්කයේ සහල් වෙළෙන්දෝ පෙන්වා දෙති.
නාඩු සහ සම්බා සහල් මිල පාලන මිලට අලෙවි කිරීමට නොහැකි වීම හමුවේ තම වෙලඳසල්වල සහල් ප්‍රදර්ශනය නොකර සඟවා තබාගෙන පාරිභෝගිකයන්ට අලෙවි කිරිමට සිදු වි ඇති බවද වෙළෙඳුන් වැඩිදුරටත් කියති.







