ලලිත් චාමින්ද –
ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් භාණ්ඩාගාර අනුමැතියකින් තොරව ඉකුත් වර්ෂ දෙක තුළදි (2020,2021) අධිකාරියේ කාර්ය මණ්ඩලය සදහා රුපියල් හයකෝටි විසිඑක් ලක්ෂ දාසය දහස් අටසිය හැත්තැ තුනක දිරි (62,116,873) දිරි දිමනාවක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
අධිකාරිය විසින් භාණ්ඩාගාර අනුමැතියකින් තොරව කොවිඩි වසංගත සමයේ දි මෙකි දිරිදිමනා යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර තිබුණි. ඒ අනුව සාමාන්‍ය රාජකාරි දින හා නිවාඩු දිනයන් ලෙස නොසලකා රාජකාරියට වාර්තාකරණ දිනකට දින එකහමාර බැගින් දිමනා ගණනය කර තිබුණි. මේ වනවිට මෙකි දිමනා ගෙවිම අත්හිටුවා ඇති බව අධිකාරියේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත.
විගණනය මගින් නිර්දේශකොට ඇත්තේ ගෙවනු ලැබු දිමනා ආපසු අයකරගැනිමට හෝ භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගැනිමට කටයුතු කළ යුතු බවය.
අධිකාරියේ සභාපතිවරයා විසින් 2021 වර්ෂයේ දි චක්‍රලේඛ විධිවිධානවලට පටහැනිව කොවිඩ් දිමනා ලෙස රුපියල් හාරලක්ෂ, පනස්හතරදහස්, අටසිය විසිහතක මුදලක් (454,827) කිසිදු අනුමැතියකින් තොරව ලබාගෙන තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.







