ගයාන් කුමාර විරසිංහ –
සිය නිල නිවෙසේ ඇඳක් මත අභිරහස් ලෙස මිය ගොස් සිටි තඹුත්තේගම රෝහලේ වෛද්‍ය අමිල සඳකැලුම් දිසානායක සියදිවි හානි කරගැනීමට ඉන්සියුලින් එන්නත් කරගත්තේ යැයි සැක කරන එන්නත් කටු නිල නිවෙස පිටුපස පුලුස්සා දමා තිබියදී තඹුත්තේගම පොලීසියට හමු වී ඇත.
එම එන්නත් කටු අඩක් පිලිස්සී තිබියදී හමු වී ඇති අතර, ඒවා අධිකරණ නියෝගයකින් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
තඹුත්තේගම රෝහලේ සේවයේ නිරතව සිටි මේ වෛද්‍යවරයා සිය බිරියගෙන් වෙන්ව ජීවත්ව ඇති බවද විමර්ශනවලදී පෙනී ගොස් ඇති අතර, පසුගිය ජනවාරි 13 දායින් පසු දෙදෙනා අතර කිසිදු අදහස් හුවමාරුවක්ද සිදුව නැති බවත් උසස් පොලිස් නිලධාරියෙක් කීය.
වෛද්‍යවරයාගේ මරණය බිරියට දැනුම් දීමෙන් පසු ඇයත්, වෛද්‍යවරයාගේ සහෝදරයකුත් පැමිණ මළ සිරුර හඳුනාගෙන මරණ පරීක්ෂණ කටයුතු සඳහා සම්බන්ධ වූ බව පොලිසිය කියයි.
මළ සිරුර අනුරාධපුර රෝහලේ අධිකරණ වෛද්‍ය ඊ.ජී.යූ.එන්.යූ. ගුණරත්න විසින් පශ්චාත් මරණ පරීක්ෂණයකට යොමු කර ඇත්තේ අනතුරුවය. පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා (14) පැවැත්වීමෙන් අනතුරුව ඇය දී ඇත්තේ විවෘත තීන්දුවකි. සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර තිබේ.
මේ වෛද්‍යවරයාගේ සිරුර තඹුත්තේගම මහේස්ත්‍රාත් විසින් පෙරේදා (14) භාර දී ඇත්තේ ඔහුගේ බිරිය වන කුරුණෑගල රෝහලේ දන්ත වෛද්‍යවරියක වන මල්කාන්ති මැණිකේ දිසානායක වෙතය.
එහිදී අධිකරණය සිරුර නාරම්මල වෙන්නෝරුව පොදු සුසාන භූමියේ භූමදානය කළ යුතු බවටත්, එම ස්ථානය සලකුණු තබා භූමදාන කළ යුතු බවටත් නියෝග කර ඇත.
සියදිවි හානි කරගෙන සිටි මේ වෛද්‍යවරයාගේ සිරුර හමු වී ඇත්තේ දින 3ක් තිස්සේ සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් ඒ ගැන රෝහල් සේවකයන් කළ සොයා බැලීමකදීය.
දිනමිණ –







