ඉඳුනිල් කහටපිටිය –
අක්මාවේ අධික තෙල් තැන්පත්වීමේ ( Fatty Liver) රෝග තත්ත්වයෙන් මෙරට නාගරික ජනගහනයෙන් 36.6% ක පිරිසක් පෙලෙන බවත් ඉන් 25 % ක් කාන්තාවන් බවත් නිරික්ෂණ මගින් තහවුරු වී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය , පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධි රුධිර පීඩන පරීක්ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය උදය රළපනාව පවසයි.
ග්‍රාමීය ජනතාව ශරීරය වෙහෙසා වැඩ කරන බැවින් ෆැටී ලිවර් තත්ත්වය ඔවුන් අතර දක්නට ලැබෙන්නේ 18% ක පමණ සංඛ්‍යාවක් අතර යැයි ද මහචාර්යවරයා පැවසුවේය.
අක්මාව නරක් වීම අධික බීමත් කම නිසා මෙන්ම වෙනත් හේතු නිසාද සිදුවිය හැකි බවත් අධික ලෙස අක්මාවේ තෙල් තැන්පත් වීම නිසා සිරෝසිස් තත්ත්වයට පත්වන රෝගීන් ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙන බවත් විශේෂඥ වෛද්‍යවරයා කිවේය.
අක්මාවේ මේදය තැන්පත්වීම පාලනය කිරීම සඳහා පුද්ගලයෙකු නිසි ප්‍රතිකාර නොගත හොත් අක්මාව නරකවී (සිරෝසිස්-cirrhosis) තත්ත්වයට පත්ව ඔහු හෝ ඇය මියයෑමේ අවදානමක් ඇතැයි ද ඔහු කීය.
වැරදි ආහාර රටාව, ක්ෂණික ආහාර වලට වැඩිපුර යොමුවීම, ව්‍යායම මදකම, ආතතිය වැනි තත්ත්වයන් අක්මාවේ අධික ලෙස මේදය තැන්පත් වීමට බලපාන ප්‍රධාන හේතු බවත් ෆැටී ලිවර් තත්ත්වත් සමඟ දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි රෝග පැවතුණහොත් මරණය ඉක්මන් විය හැකි යැයි ද විශේෂඥවරයා අවධාරණය කළේය.
අක්මාවේ තෙල් තැන්පත්වීම සිරෝසිස් දක්වා වර්ධනය වන තෙක් බොහෝ අවස්ථාවල රෝග ලක්ෂණ නොපෙන්වන බැවින් මෙය එක්තරා අන්දමකින් නිහඬ මාරයෙකු ලෙස හැඳින්විය හැකි යැයි ද හෙතෙම කීවේය.
විශේෂයෙන් තරුණ ප්‍රජාව අතර මෙම රෝග තත්ත්වය බහුලව වාර්තා වන බවත් තරාබාරු ළමුන් ද රෝගයට ගොදුරු වීමේ වැඩි අවධානමක් ඇති බවත් මහාචාර්යවරයා පෙන්වා දෙයි.
සිරෝසිස් දක්වා තත්ත්වය වර්ධනය වූ විට මුහුණ කළු වීම, ඇස් කහවීම, උදරය ඉදිමීම වැනි ලක්ෂණ දැකිය හැකි බවත් මෙහි අවදානම තේරුම් ගෙන අක්මාවේ මේදය තැන්පත් වී ඇත්දැයි සොයා බැලීම සඳහා සිදු කරන පරීක්ෂණවලට යොමුව තමන් ගේ අක්මාවේ ක්‍රියාකාරීත්ව දැන ගන්නා ලෙස අවධානම් කණ්ඩායම් වලට දැනුම් දෙන බවත් විශේෂඥ වෛද්‍ය උදය රළපනාව පැවසුවේය.







