මනම්පිටිය නිමල් ජයරත්න –
නඩුවක් වසර දෙකක් කල්දමා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරදීමට රුපියල් 20,000ක අල්ලස් වශයෙන් ගැනීමේදී හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ පිස්කල්වරයෙකු අද 03 දහවල් මින්නේරිය නගරයේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරී කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව මින්නේරිය පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ පිස්කල්වරයෙකු ලෙස සේවය කරන 44 වියැති අයෙක් බව අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරියකු අප කළ විමසීමකදී සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරු පොළොන්නරුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර ඔහු 03 වෙනිදා සවස පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොළොන්නරුව පොලිස් ස්ථානයේ උසස් පොලිස් නිලධාරියකු අප කළ විමසීමකදී පැවසීය.







