පෙරේදා (31) අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල අසලදි සිදු කරනු ලැබු වෙඩි තැබිමට සම්බන්ධ කුලී වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය සඟවාගෙන සිටි පුද්ගලයෙක් ඊයේ විශේෂ කාර්ය බලකායේ විමර්ශන කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කරණ්දේණිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 ක් වන තරුණයෙකි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා විමර්ශන කටයුතු සඳහා අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
පෙරේදා (31) අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අසලදී වෙඩි ප්‍රහාරයට ලක් වන්නේ KDH වර්ගයේ වෑන් රථයකින් සිය දරුවා පාසලෙන් රැගෙන යෑමට පැමිණි 36 හැවිරිදි පුද්ගලයෙකි.
බලපිටිය වලගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු පොලියට මුදල් ලබාදීමේ සහ සංචාරක ව්‍යාපාරයේ නිරතව සිටින අයෙකි.
යතුරුපැදියක පැමිණි කුලී වෙඩික්කරුවන් දෙදෙනෙක් විසින් වෙඩි තැබීමෙන් අනතුරුව වෙඩි කෑ පුද්ගලයා එම ස්ථානයෙන් දිව ගොස් යතුරුපැදියක නැගී අම්බලන්ගොඩ පොලීසිය වෙත පැමිණි බවත් අසාධ්‍ය තත්ත්වයේ සිටි ඔහුව රෝහල්ගත කළ බවත් පොලිසිය කීවේය.
මීට පෙර අවස්ථාවක අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අසල දී එම විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු වෙඩි ප්‍රහාරයකට ලක්වූයේය.
එහිදී ඔහුද අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත ගොස් දිවිබේරාගැනීමට සමත්විය.