මනම්පිටිය නිමල් ජයරත්න –
දුම්රියේ ගැටී මියගිය වන අලියෙකුගේ මළ සිරුරක් අද ( 13 ) උදෑසන පොළොන්නරුව අඩවි වනජීවී කාර්යාලයේ වනජීවී නිළධාරීන් විසින් මනම්පිටිය ප්‍රදේශයෙන් සොයාගෙන ඇත.
මීට දින දෙකකට පමණ ඉහතදී මෙම වන අලියා දුම්රියේ ගැටී මිය යන්නට ඇති බව වනජීවී නිළධාරීහු සැක පළ කරති.
මෙලෙස දුම්රියේ ගැටී මියගොස් ඇත්තේ මනම්පිටිය ජල ගැලුම් නිම්න ජාතික වන උද්‍යානයේ සැරිසැරූ වයස අවුරුදු 8-10 ත් අතර වයසේ පසුවන අඩි 06 ක් පමණ උසකින් යුත් වන අලියෙකු බව වනජීවී නිළධාරීහු සඳහන් කරයි.

මඩකලපුව පොළොන්නරුව ප්‍රධාන දුම්රිය මාර්ගයේ මනම්පිටිය පාලමට ආසන්නයේ 164 3/4 දුම්රිය සැතපුම් කණුව අසලදී මෙම වන අලියා දුම්රියේ ගැටී මියගොස් ඇත.
මෙම කලාපයේදී අලි දුම්රියේ ගැටීමෙන් මේ මිය ගොස් ඇත්තේ සිව්වන වන අලියා බවත්, වන අලියා දුම්රියේ ගැටුනු බව දුම්රියේ රියදුරු දුම්රිය ස්ථානයට හෝ යම් දැනුවත් කිරීමක් කළේ නම් අලියාගේ ජීවිතය බේරා ගැනීමට තිබූ බව වනජීවී නිළධාරීහු වැඩි දුටරටත් සඳහන් කළහ.
ප්‍රදේශයේ ගවයින් රැකබලා ගනු ලබන පුද්ගලයෙකු ලබා දුන් තොරතුරකට අනුව දුම්රියේ ගැටී මියගිය වන අලියාගේ සිරුර දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී පොළොන්නරුව අඩවි වනජිවී කාර්යාලයේ වනජීවී නිළධාරීන් විසින් සොයාගෙන තිබිණි.
මියගිය වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය, සමීර කලිඟුආරච්චි ඇතුළු වනජීවී නිළධාරීන් විසින් සිදු කිරීමට නියමිතය.
මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ කටයුතු පොළොන්නරුව අඩවි වනජීවී කාර්යාලයේ වනජීවී නිළධාරීන් විසින් සිදුකරයි.







