රාජ්‍ය ඇමති දිලුම් අමුණුගමගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙක් ලෙස පෙනී සිටිමින් සුඛෝපභෝගී මෝටර් රථයක් ජපානයෙන් ගෙන්වාදෙන බව පවසා රුපියල් ලක්ෂ 120 ක් ව්‍යාපාරිකයෙකුට වංචා කළ පුද්ගලයෙක් කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ (29) කැලණියේදී අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රවාහන අමාත්‍යාංශයේ බව සඳහන් හැදුණුම්පතක්ද ඔහු සතුව තිබී ඇති අතර ඒ ගැන පොලීසිය එම අමාත්‍යාංශයෙන් කළ සොයා බැලීමකදී දැන ගන්නට ලැබී ඇත්තේ එය ව්‍යාජ එකක් බවය.
සැකකරු 28 වැනි වියේ පසුවන්නෙකි. ව්‍යාපාරිකයා පොලීසියට පවසා ඇත්තේ එම පුද්ගලයා ඇමතිවරයාව ඉතා ළඟින්ම ඇසුරුකරන අයෙක් බව හැසිරීම්වලින් පෙනී ගිය බවය. ඔහු ඇමතිවරයාට බව කියමින් දුරකතන ඇමතුම් පවා ව්‍යාපාරිකයා ඉදිරිපිට ලබාගෙන ඇති බවද සඳහන්ය.