අසේල කුරුළුවංශ
මුඛ පිළිකා වැළඳී දෛනිකව තිදෙනෙකු පමණ මරණයට පත්වන බවත් පුවක් හා දුම්කොළ භාවිතය මුඛ පිළිකා වැළඳීමට ප්‍රධාන ලෙස බලපාන බව විද්‍යාත්මකව තහවුරු කර තිබෙන බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා) විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසයි.
බුලත් විට සමඟ දුම්කොළ හා පුවක් භාවිතය නැති කිරීමෙන් මෙම ජීවිත සියල්ල ආරක්ෂා කර ගැනීමට හැකි බවත් මේ සඳහා මහානනාක ස්වාමින්ද්‍රයන් වහවන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයේ සහයෝගය අවශ්‍යය බවත් ඒ් මහතා කීය.
නියෝජ්‍ය අධක්ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ අද (21) මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සහ අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ආන්නද නාහිමියන් බැහැදුටු අවස්ථාවේදීය.
මෙම මස 27 දිනට යෙදෙන ලෝක හිස හා ගෙළ ආශ්‍රිත පිළිකා දිනය නිමිතෙන් කුරුණෑගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් ඓතිහාසික රිදී විහාරයද කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත දැනුවත් කිරීමේ වැඩසටහන සම්බන්ධව උන්වහන්සේලා දැනුවත් කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා) විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා මෙසේද පැවසුවේය.
“ලංකාවේ පිළිකා රෝගයට ගොදුරුවන පුරුෂ පක්ෂය හා සම්බන්ධ දත්ත සැලකීමේදී වැඩිම පිරිසක් ප්‍රතිකාර සඳහා යොමු වන්නේ මුඛ පිළිකා වැළඳීමෙන්. කාන්තාවන් අතර මුඛ පිළිකා සුබලව දක්නට නොලැබෙන අතර කාන්තා පිළිකා රෝගීන් අතර මුඛ පිළිකාව තිබෙන්නේ 08 වැනි ස්ථානයේයි. “
“පුවක් හා දුම්කොළ භාවිතය තමයි පුරුෂ පක්ෂය අතර මුඛ පිළිකාව බහුලව දක්නට ලැබීමට ප්‍රධානතම හේතුව. නාගරීකරණයත් සමඟ බුලත්විට කෑම යම් ප්‍රමාණයකට අඩුවන තත්ත්වයක් දක්නට ලැබුණත් දුම්කොළ, පුවක් හා සීනි අන්තර්ගත කර සකස් කළ බාබුල් වැනි කුඩා ප්‍රමාණයේ පැකට් හඳුන්වාදීමත් සමඟ යළිත් මේවා භාවිතය ඉහළ යන ස්වභාවක් සමාජයේ දක්නට ලැබෙනවා.පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන් පමණක් නොව පිරිවෙන් අධ්‍යාපනය ලබන භික්ෂුන් වහන්සේලාද මේවා භාවිතයට හුරුවී තිබෙනවා. බස් රථ රියදුරන් අතරද මේවා ප්‍රචලිතයි. මේ සියලු දෙනා මේ පුවක් හා දුම්කොළ අඩංගු කුඩා පැකට් කෑමට පුරුදු වී සිටින්නේ රාත්‍රි කාලයේ නිදිවරා සිටීමට හැකි බවට ඇති මිත්‍යා මතය නිසයි. මේවාහි ඇම්බැහිකාරක තිබෙන නිසා කිහිපවරක් කෑ අයෙකු එය දිගටම කෑමට පෙළඹෙනවා. “
“දැහැත් වට්ටියට බුලත් සමඟ පුවක් හා දුම්කොළ යොදා ගන්න තත්ත්වයක් අපි දකිනවා. දැහැත් වට්ටියෙන් මේ සෞඛ්‍යයට අහිතකර දේවල් ඉවත් කරන්න මෙයට වසර ගණනාවකට පෙර වැඩපිළිවෙළක් හඳුන්වා දුන්නා. නමුත් එය ක්‍රියාත්මක වුණේ නැහැ. දුම්කොළ හා පුවක් වෙනුවට සාදික්කා, කරඳමුංගු, කරාබු නැටි වගේ දේවල් යොදා ගන්න පුළුවන්. “
“මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයෙන් අපි ඉල්ලා සිටින්නේ දැහැත් වටිටියෙන් මේ සෞඛ්‍යයට අහිතකර දේවල් ඉවත් කිරීම සඳහ වන වැඩපිළිවෙළ සමාජගත කිරීමේ වැඩපිළිවෙළට විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් සහය ලබාදෙන ලෙසයි. මේ නිමිත්තෙන් අපි පුදන්නට මිස හපන්නට නොව කියා තේමා පාඨයක්ද හඳුන්වා දී තිබෙනවා. “
මෙහිදී අදහස් දැක්වූ අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ මෙසේ පැවසූහ.
“මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීම සඳහා වත්මන් රජය විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පවත්වන මාසික රැස්වීම් වලට මමත් සහභාගි වෙනවා. තරුණ ප්‍රජාව මත්ද්‍රව්‍ය වලට යොමුවීමේ මූලික අවස්ථාව ලෙස මේ දුම්කොළ හා පුවක් කෑම බව මේ සාකච්ඡා වලදී අනාවරණය වෙනවා. ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා පවා මේවා කෑමට පුරුදුවී සිටින බව සත්‍යයක්. සෞඛ්‍යට අහිතකර පුවක් හා දුම්කොළ නිෂ්පාදන විදේශ රටවලින් ගෙන ඒ්ම තහනම් කිරීම කෙරෙහි අවධානය යොමුවිය යුතුයි. “
මෙම අවස්ථාවට කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉනෝකා වීරසිංහ, ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය, ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ සේනක තලගල, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත චෛද්‍ය පීඨයේ මහාචාර්ය රුවන් ජයසිංහ, ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා දන්ත විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ජයසේකර, ප්‍රජා දන්ත විශේෂඥ වෛද්‍ය අමා නානායක්කාර, ප්‍රජා දන්ත විශේෂඥ වෛද්‍ය අරුණි සෙනෙවිරත්න, රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් දන්ත වෛද්‍ය විශේෂඥ අරුණ අබේවර්ධන, දන්ත ශල්‍ය වෛද්‍ය, කුරුණෑගල රිදී විහාරයේ බස්නායක නිලමේ චූලා බණ්ඩාර, දන්ත ශල්‍ය වෛද්‍ය ප්‍රියන්ත විජේසූරිය යන මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.









