කාලගුණික තත්ත්වය පිළිබඳව පූර්ව දැනුම්දීමක් කර තිබියදීත්, ජනාධිපතිවරයා, අමාත්‍ය මණ්ඩලය සහ රාජ්‍ය බලධාරීන් කිහිප දෙනෙකු ‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑම අවම කිරීම සඳහා කාලෝචිත පියවර ගැනීමට අපොහොසත් වීම මඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලමින් මහනුවර පදිංචි නීතිඥයෙක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
ආපදා අවදානම අවම කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ක්‍රියා මාර්ග සහ අතපසුවීම් උපුටා දක්වමින් නීතිඥ කීර්ති බණ්ඩාර කිරිදෙන ජනාධිපතිවරයාට, අමාත්‍ය මණ්ඩලයට, ආපදා කළමනාකරණ ජාතික කවුන්සිලයට සහ අනෙකුත් අදාළ බලධාරීන්ට එරෙහිව මෙම පෙත්සම ගොනු කර තිබේ.
ජනාධිපතිවරයා සිය නිල බලයෙන් කටයුතු කරමින් සිටියදී පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන වගන්තියට අනුව චෝදනා එල්ල කර ඇති මෙම පෙත්සම මඟින් එහි පළමු වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇත.
පෙත්සම්කරු තම පෙත්සමේ සඳහන් කරන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක ආපදා කළමනාකරණය සඳහා වූ ජාතික කවුන්සිලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන බවත්, ඔහුද වගඋත්තරකරුවෙකු ලෙස නම් කර ඇති බවත්ය. අගමැතිනි හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලය ද පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණි.
මෙම පෙත්සම්කාර නිතිඥවරයාගේ වෘත්තීය කාර්යාලය මහනුවර අධිකරණ සංකීර්ණයට ආසන්නයේ ඇති මහනුවර නීතීඥ සංකීර්ණයේ පිහිටා ඇති බවත්, සුළි කුණාටුව නිසා ඇති වූ ගංවතුර හේතුවෙන් ඔහුගේ කාර්යාලයට සම්පූර්ණයෙන්ම හානි සිදුවී ඇති බවත් සිය පෙත්සම මඟින් ප්‍රකාශ කර ඇත. ඔහුගේ වෘත්තීය රාජකාරි ඉටු කිරීම සඳහා අගනා දෙයක් ලෙස ඔහු විස්තර කරන ඔහුගේ පරිගණක පද්ධතියේ සම්පූර්ණ දත්ත සමුදායම එයින් අහිමි වී ඇති බවත් ඔහු තවදුරටත් පවසයි.
ආපදා සූදානම සහ කළමනාකරණය සම්බන්ධයෙන් පෙත්සම වගඋත්තරකරුවන්ගේ ව්‍යවස්ථාපිත වගකීම් සහ කාර්යයන් උල්ලංඝනය කර ඇති බවටද චෝදනා කර තිබේ.
ආපදා තත්ත්වයක් ඇතිවීමට පෙර ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වග උත්තරකරුවන්ගේ නොසැලකිලීමත්භාවය හෝ රාජකාරිය පැහැර හැරීම හේතුවෙන් මෙවැනි විනාශකාරී තත්ත්වයක් උද්ගත වූ බවත් ඔවුන් පෙර සූදානමින් කටයුතු කර තිබුණේ නම් සිදුවිය හැකි හානි අවම කර ගැනීමට හැකියාව තිබූ බවත් පෙත්සම්කරු සඳහන් කර ඇත.
විශේෂයෙන්ම කොත්මලේ ජලාශයේ ජලය මුදා හැරීමට පෙර ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළේ නම් ගම්පොල, ගලහ, පේරාදෙණිය සහ මහනුවර යන ප්‍රදේශවල ජලගැලීම් හේතුවෙන් සිදුවූ දැවැන්ත හානි අවම කර ගැනීමට හැකියාව තිබූ බවත් පෙත්සම්කරු මෙමගින් සඳහන් කර ඇත.
ගලහ, පේරාදෙණිය සහ මහනුවර ඇතුළු බලපෑමට ලක් වූ ජල ගැලීම හේතුවෙන් පොදු සහ පෞද්ගලික දේපළවලට, විශේෂයෙන් මහනුවර අධිකරණ සංකීර්ණයට සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයට දැඩි හානියක් සිදු වූ බව පෙත්සම්කරු පවසයි. මෙම තත්ත්වය පරිමාණයෙන් සහ බලපෑමෙන් පෙර නොවූ විරූ එකක් බව ඔහු විස්තර කරයි.
වගඋත්තරකරුවන්ගේ නොසැලකිලිමත් ක්‍රියා කලාපය නිසා මෙම ආපදා තත්ත්වය හේතුවෙන් සිදු වූ විනාශය උත්සන්න වූ බවත් ඔහු චෝදනා සිය පෙත්සම මගින් චෝදනා කර ඇත.
ඒ අනුව වගඋත්තරකරුවන්ගේ නොසැලකිලිමත් ක්‍රියා කලාපය හේතුවෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ..







