ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම දැල්පන්දු ක්‍රීඩිකාවක මෙන්ම ආසියාවේ උසම දැල්පන්දු ක්‍රීඩිකාව ලෙස වාර්තාපොතට එක් වුන වේ තර්ජනි සිවලිංගම් ඊයේ (17) විවාහ දිවියට පිවිසුනාය.

අඩි 06යි අඟල් 09ක් උස මෙම සුවිශේෂී ක්‍රීඩිකාව දැල්පන්දු පිටියේ දී ලෝක අවධානයට ලක් වූ චරිතයක් විය. ඇය අපේ දැල්පන්දුව ස්වර්ණමය යුගය නියෝජනය කළ ක්‍රිඩිකාවක විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇය දැල්පන්දු ලෝක කුසලාන තරගාවලි 4ක් නියෝජනය කළාය. ආසියානු දැල්පන්දු තරගාවලි 5කට ලංකාව වෙනුවෙන් තරග කළාය.
2019 දැල්පන්දු ලෝක කුසලානයට සහභාගීවනවිට තර්ජනීට වයස අවුරුදු 40කි. දැල්පන්දු ලෝක කුසලාන තරගයක් වෙනුවෙන් ක්‍රීඩා කළ වයස්ගතම ක්‍රීඩිකා ලෙස ඇය ලෝක වාර්තාවක් පිහිටවා තිබිණි. ඇගේ එම වාර්තාවම ඇය 2023 දැල්පන්දු ලෝක කුසලානයට සහභාගීවෙමින් බිඳ හෙළුවාය. එවිට තර්ජනීගේ වයස අවුරුදු 44කි.
පසුගිය දැල් පන්දු ලෝක කුසලානයෙන් පසු තර්ජනී ශ්‍රී ලංකාවේ දැල්පන්දු ක්‍රීඩාවේ පුරාවෘතයක් වෙමින් දැල්පන්දු ක්‍රීඩාවෙන් සමු ගත්තාය. අනතුරුව ජීවිත ගමනේ ඉදිරිය ගැන බලාපොරොත්තු සහගත වූවාය.
ඇයගේ දිවි ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වනු දැකීම මේ රටේ ක්‍රීඩාවට ආදරය කරන මිනිසුන්ගේ ප්‍රාර්ථනාවය.







