අස්ගිරි මහ පිරිවෙණේ දී විවාහ ගිවිස ගැනීමේ උත්සවයක් පැවැත්වීමෙන් පසු එදිනම ශ්‍රී දළදා මාලිගාව තුළ ප්‍රී ෂූට් එකක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා කන්ද උඩරට අභිමානය සංවිධානය මගින් මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමට සහ ජනපති රනිල් වික්‍රමසිංහට ලිපියක් යොමුකර තිබේ.
දියවඩන නිළමේවරයා මෙන්ම තේවා කටයුතු සඳහා මාලිගාව තුළ වැඩසිටින ස්වාමින්ද්‍රයන් වහන්සේලා ද දැනුවත් නොකර මේ ආකාර ඡායාරූප ගැනීමක් සිදුවූයේ කෙසේද යන්න ප්‍රශ්නයක් බවත් ඒ පිළිඳව විධිමත් පරීක්ෂණයක් සිදුවන බවක් පෙනෙන්නට නොමැති බවත් කන්ද උඩරට අභිමානය සංවිධානය ලිපියේ සඳහන් කර ඇත.
එම සංවිධානයේ සභාපති සුදන්ත සේනායක හා ලේකම් සුනේත්‍රා හුලන්ගමුව ගේ අත්සනින් යුත් අදාළ ලිපියේ පිටපත් අගමැතිවරයා, සංස්කෘතික හා ආගමික කටයුතු ඇමැතිවරයා, බෞද්ධ කටයුතු කොමසාරිස් හා පොලිපතිවරයා වෙත ද යොමුකර තිබේ.
නිතර ජනයා ගෙන් පිරී පවතින ශ්‍රී දළදා මාලිගාව තුළ අදාළ ඡායාරූප වල පසුබිමේ කිසිවෙකුත් දක්නට නොලැබෙන බවත් මේ තුළින් මාලිගා පරිශ්‍රය තුළ ඔවුන් ට නිදහසේ ඡායාරූප ගැනීමට අවස්ථාව ලබා දී ඇති බවක් තහවුරු වන බවත් ලිපිය මගින් කන්ද උඩරට අභිමානය සංවිධානය ප්‍රකාශ කර ඇත.
මහනුවර දී අද (16) මාධ්‍ය හමුවක් පවත්විමින් මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක් වූ කන්ද උඩරට අභිමානය සංවිධානයේ සභාපති සුදන්ත සේනානයක මෙසේ පැවසුවේය.
ශ්‍රී දළදා මාලගාවේ දී මේ ආකාර ඡායාරූප ගැනීමක් ඉතිහාසයේ කවදාවත් වෙලා නැහැ. මේවා කාගේ අනුදැනුම මත වුණාද කියලා සොයා බැලිය යුතුයි. මේ ඡායාරූප නිරීක්ෂණය කිරීමේ දී දළදා මාලිගාව වන්දනා කිරීමට පැමිණි බැතිමතුන් ඉවත්කර ඡායාරූප ගැනීම සිදුකර තිබෙන බව පැහැදිලියි.
දළදා මාලිගාවේ දියවඩන නිළමේතුමන්, රාජකාරිකරුවන්, තේවාවට සම්බන්ධ භික්ෂූන් වහන්සේලා, පොලිස් නිලධාරීන් ඉන්නවා. මේ අය කවුරුවත් මේක දැක්කේ නැද්ද?. මේ සිද්ධිය යට ගහන්න දෙන්න බැහැ. වහාම පරීක්ෂණයක් කරන්න ඕන. ලෞකික කටයුතු සිද්ධස්ථාන තුළ සිදු කිරිම අපි කිසිසේත්ම පිළිගන්නේ නැහැ.
මේකට අස්ගිරි පාර්ශවයේ භික්ෂූන් වහන්සේ කිහිප නමක් සම්බන්ධ බව දැන ගන්න ලැබුණා. තාමත් මේ අය සම්බන්ධයෙන් පියවරක් ගත් බවක් පේන්න නැහැ. තවත් අය ඉදිරියේ දී මේ අකාර ඡායාරූප ගන්න පැමිණෙයි. ඒ අයටත් ඉඩ දෙනවාද?, මේකට පියවරක් නොගතහොත් අපේ දරුවන් ගේ විවාහ මංගල ඡායාරූප ගන්නත් මාලිගාවේ ඉඩ ලබා දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා.
දළදා මාලිගාව කියන්නේ නාඩගම් මඩුවක් නෙවෙයි.








