කීර්ති ප්‍රනාන්දු –
13 වැනි වරටත් දළදා කරඬුව වඩම්මන උත්තම පුණ්‍යකර්මය සඳහා දින 10ක පා ගමනකින් අනතුරුව නැදුන්ගමුවේ හස්ථි රාජයා අද රාත්‍රියේ දළදා මන්දිර භූමිය වෙත වැඩම කළහ.
හස්ථිරාජයා ගේ හිමිකරු නැදුන්ගමුවේ හර්ෂ ධම්ම වෙදමහත්මාය. එම නිවසින් මේ උත්තම සද් කාර්යය සඳහා ඇත් රජු පිටත් වූයේ ඉකුත් 02 දා ය. එම ගමනේ දී හස්ථිරාජයාට නිශ්චිත රාත්‍රී නැවතුම් තිබේ. එම නවාතැන් සකසා ඇත්තේ පන්සල්වලය. ඇතා මේ පා ගමනේ යොදවන්නේ ඇතාගේ ආරක්ෂාව පිළිබඳ සලකා බැළීමෙනි.
නැදුන්ගමුව හස්ථිරාජයාගේ දැන් වයස අවුරුදු 67කි. ඇත් රජු ඉපදී තිබුණේ වර්ෂ 1953 දී ඉන්දියාවේ මයිසූර් ප්‍රදේශයේ දී ය. ලංකාවට ගෙන්වන විට වයස අවුරුදු 05කි. මෙම ඇත් රජු, ඉන්දියාවේ මයිසූර් ප්‍රාන්තයේ මහාරාජගේ ඥාතියෙකුට වැළඳුනු දරුණු රෝගයක් සුව කළ නීලම්මහර පරපුරෙ පිළියන්දල වෙද හාමුදුරුවන්ට මහාරාජා විසින් ලබා දුන් ප්‍රදානයකි. ඔහුත් සමගම ඉන්දියාවෙන් ගෙන්වූ තවත් ඇති පැටවෙක් විය. ගංගාරාමයේ සිටි දිවංගත නවම් රාජා ඒ ඇත් පැටවාය.
නැදුන්ගමුවේ ඇත් රජු වර්ෂ 2005 සිටදළදා කරඬුව වඩම්මන ඇත් පන්තියේ ප්‍රධාන හස්ථියා ලෙස කටයුතු කරන්නේය. දැනට ආසියාවේ සිටින විශාලම හීලෑ අතා මේ හස්ථි රාජයා ය.
“ එයාගෙ වයස එක්ක එයා ප්‍රවාහන මාධ්‍යයකින් ප්‍රවාහනය කරන්න ගියොත් අනතුරු වෙන්න තියන ඉඩ වැඩියි. සෑම අවුරුද්දකම මේ කාර්යයට ඇතා ගමන් කරන්නෙ පා ගමනින් මයි.“ ධර්ම විජය වෙද මහත්මයා කීවේය.
කෙසේ වෙතත් මෙවර රාජා හස්ථි රාජයා නුවර ආවේ පුරුදු පාරේ නොවේ. කොවිඩ් වසංගතය නිසා එන මග වෙනස් කිරීමටත් ධර්ම විජය වෙදමහත්මයාට සිද්ධ වී තිබිණි. වෙනදා පා ගමනින් නුවර පාර දිගේ යන හස්ථි රාජයා මෙවර වරකාපොල දක්වා ගියේ අතුරු පාරවල් දිගේය. ඒ ජනතාවගෙන් හැකි තරම් දුරස් වීම සඳහාය.
හස්ථි රාජයා නුවර පාර දිගේ යන්නට පටන් ගන්නේ වරකාපොලින් පසුවය. මේ ගමනට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව හස්ථියාට ලැබෙන්නේය.
දළදා මළිගාවට වැඩම කළ ඇතා දළදා වන්දනා කිරීමෙන් අනතුරුව දැන් ජෛව බුබුළ තුළය.