අසේල කුරුළුවංශ –
මහනුවර ජාතික රෝහලේ සේවය කරමින් සිටි 37 හැවිරිදි හෙද නිලධාරිනියක තෙවන දරු ප්‍රසූතිය අතරතුර පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී මියගොස් මියගොස් ඇත.
මියගොස් ඇත්තේ ඉසුරු නිදිෂානි දිසානායක නැමැති හෙද නිලධාරිනියක් වන අතර දරුවා කුසේ සිටියදීම ඇය අධි අවධානම් තත්ත්වයක පසුවන බවට වෛද්‍යවරු හඳුනාගෙන තිබිණි.
සිසේරියන් සැත්කමක් මගින් දරුවාගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරු සමත්ව ඇත. මව ඉතා අවාධනම් තත්ත්වයක පසුවීම නිසා සිසේරියන් සැත්කම සඳහා විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් සහභාගි වී තිබෙන බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන හමුවේ පැවැති මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.
එහි දී මියගිය හෙද නිලධාරිනියගේ සැමියා වන චෝදන මදුෂාන් ජයවර්ධන, නැගනිය අනුරාධපුර රෝහලේ වෛද්‍ය සචිත්‍රානි දිසානායක, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සම්පත් තුෂාර ඥානරතන යන මහත්ම මහත්මීන් සාක්කි ලබා දුන්හ.
අනුරාධපුර රෝහලේ වසර ගණනාවක් සේවය කළ හෙද නිලධාරිනිය මෙයට තෙමසකට පමණ ඉහතදී මාරුවක් ලැබ මහනුවර ජාතික රෝහලේ ළමා රෝග පිළිබඳ සායනයේ රාජකාරි සඳහා එක්ව ඇත.
දරුවා පිළිසිඳ ගැනීමෙන් පසු අනුරාධපුර රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවී සිදුකළ ස්කෑන් පරීක්ෂාවකදී වැදෑමහ පිහිටීමේ යම් අසාමාන්‍ය තත්ත්වයක් හේතුවෙන් හෙද නිලධාරිනියක දැඩි අවධදානම් තත්ත්වයක පසුවන බව හඳුනාගෙන තිබේ. ඒ අනුව මහනුවර ජාතික රෝහලට මාරුවී පැමිණීමෙන් පසු ඇය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සම්පත් තුෂාර ඥානරතනගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබාගෙන ඇත.
මහනුවර ජාතික රෝහලේ සේවය කරමින් සිටියදී පසුගිය 10 වැනි දින ප්‍රසව වේදනා ඇතිවීමෙන් පසු ඇය සැමියා සමඟ ගොස් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත්ව තිබේ.
එදින විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු වෛද්‍යවරු කිහිප දෙනෙකු ඇයව පරීක්ෂා කර බලා දිවා කාලයේදී සැලසුම් සහගත සිසේරියන් සැත්කමක් මගින් දරුවා පිටතට ගැනීමට තීරණය කර ඇත.
ඒ අතරතුර හදිසි රුධිර වහනයක් සිදුවීම නිසා සිදුකළ ස්කෑන් පරීක්ෂණයකින් පසු කඩිනමින් සිසේරියන් සැත්කම සිදු කිරීමට වෛද්‍යවරු තීරණය කර තිබේ.
ඒ අනුව සිසේරියන් සැත්කම මගින් දරුවා පිටතට ගෙන ඇත. අධික රුධිර වහනය හේතුවෙන් ලේ පයිනට් 12 ක් ඇයට ලබා දීමට වෛද්‍යවරු ක්‍රියාකර ඇත.
හෙද නිලධාරිනියගේ ජීවිතය බේරා ගැනීම සඳහා ශල්‍ය උපක්‍රම සියල්ල ගත් බවත් සියලුම ඖෂධ, රුධිරය හා රුධිර කොටස් ලබා දුන් බවත් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සම්පත් තුෂාර ඥානරතන පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන හමුවේ සාක්කි දෙමින් ප්‍රකාශ කළේය.
මියගිය හෙද නිලධාරිනියට අවුරුදු 09 හා 05 වයස්වල පසුවන දරුවන් දෙදෙනෙකු සිටින අතර පශ්චාත් මරණ පරීක්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය, මහාචාර්ය අමල් වැදිසිංහගේ උපදසේ මත විශේෂඥ අධිකරණ වෛද්‍ය චතුලා වික්‍රමසිංහ විසින් සිදුකර ඇත.
මරණය පිළිබදව තවදුරටත් විර්මශනය කරන බව ඇය විසින් දැනුම් දී තිබේ. ඒ අනුව අවසන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් මරණ පරීක්ෂණය කල් තැබීමට හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන තීරණය කර ඇත.







