මැතිවරණ ජයග්‍රහණයෙන් පසු දයාසිරි ජයසේකරට ලබාදිය යුතු ඇමැති ධූරය තීරණය කරනු ලැබුවේ බැසිල් රාජපක්ෂ මහතා නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ලෙස මෛත්‍රිපාල සිරිසේන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම පවසයි.
සෙල්ලම් ඇමැති ධූරයක් තමාට ලබාදී ඇතැයි දයාසිරි ජයසේකර පවසන්නේ නම් ඔහු ඒ සම්බන්ධව චෝදනා කළ යුත්තේ පක්ෂ සභාපතිවරයාට බවද ඔහු කීවේය. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (05) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇැමතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයේ කොටස්කරුවෙකු නමුත් ප්‍රබල කොටස්කරුවෙක් ලෙස හැඳින්වීම පිළිගත නොහැකි බවද රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය. මැතිවරණයට තරඟ කළ අවස්ථාවේ පොදුජන පෙරමුණ තවත් පක්ෂ සමඟ සන්ධාන ගතව ඊට මුහුණ දුන් බවත් ඒ අතරින් ප්‍රබතලම කොටස්කරුවා ශ්‍රීලනිපය යැයි පැවසීම පදනම් විරහිත ප්‍රකාශයක් බවත් ඔහු කීය.
ආණ්ඩුවේ තීන්දුවලට එකඟ නොවන්නේ නම් ආණ්ඩුව තුළ රැඳී සිටිමින් විවේචනය නොකර කළ යුත්තේ ඉවත්ව යෑම බවත් ජනතාවගේ දුක නිවන්නට ක්‍රියාමාර්ග ගැනීම සඳහා පාර්ලිමේන්තුවට ජනතාව විසින් එවන ලද ඇතැම් අය අද තමන්ගේ දුක ජනතාවට කියන බවත් ඔහු පැවසුවේය.
ජනපතිට ජනවරමක් ලබාදුන්නේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක කිරීමට බවත් බලාපොරොත්තු නොවුණු ආකාරයට කොවිඩ් වසංගතයට මුහුණ දීමට සිදුවූ නිසා එහි අඩංගු ඇතැම් දේ ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබෙන බවත් කී ඇමැතිවරයා කොවිඩ් පිට දමා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු දේ ක්‍රියාත්මක නොකර ඉන්නට ආණ්ඩුව කිසිවිටෙකත් සූදානම් නොමැති බව ජනපතිතුමන් ජාතිය අමතමින් පැහැදිලිව රටට ප්‍රකාශ කළ බවද අවධාරණය කළේය.
තිස් අවුරුදු ත්‍රස්තවාදය පරාජය කරන්නට මහින්ද,ගෝඨාභය හා බැසිල් යන සහෝදරයින් ත්‍රිත්වය ක්‍රියාත්මක වූයේ රටේ ආර්ථිකයද යහපත් මට්ටමින් පවත්වාගෙන යන අතුරතුර බවත් අද ඇසට නොපෙනෙන කොවිඩ් සතුරා පරාජය කරන්නටද ඔවුන් තිදෙනාගේ එකතුවීම වැදගත් බවත් රාජ්‍ය ඇමති අමුණුගම පැවසුවේය.