ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට හඳුන්වාදීමට නියමිතව ඇති, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර තිබෙන අවසන් කෙටුම්පත වැඩි දියුණු කිරීම පිනිස සුදුසු යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න ගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා පුලුල් නීතියක් හඳුන්වා දීමේ අරමුණ සහිතව එම යෝජනාව අධිකරණ ඇමතිවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බවය.
ජාතික ආරක්ෂාව සහ මහජන සාමය සම්බන්ධයෙන් එවකට පැවති තර්ජනයන්ට මුහුණ දීම සඳහා 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධි විධාන) පනත පනවනු ලැබුවේය.
පසුකාලීනව 2022 අංක 12 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත වශයෙන් එම නීතියට සංශෝධන හඳුන්වා දෙමින් ජාතික ආරක්ෂාව පිළිබඳ පුළුල් නීතියක් ප්‍රකාශ කිරීම සඳහා වන අන්තර්කාලීන පියවරක් අනුගමනය කර තිබිණි.
ඉන් අනතුරුව, ත්‍රස්තවාදය මැඩ පැවැත්විම පිළිබඳව පනත් කෙටුම්පතක් සකස් කර ඇති අතර, එකී පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් කෙරිනි.
ඒ අනුව, එකී පනත් කෙටුම්පත සඳහා තවදුරටත් සිදු කළ යුතු සංශෝධන හඳුනාගෙන එකී සංශෝධන ඇතුළත් කරමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් සංශෝධිත පනත් කෙටුම්පතක් සකස් කරනු ලැබ තිබේ.
නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති අවසන් කෙටුම්පත පිළිබඳව තවදුරටත් කරුණු අධ්‍යයනය කර එකී පනත් කෙටුම්පත තවදුරටත් වැඩි දියුණු කිරීම පිණිස සුදුසු යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති නීතිඥ රියන්සි අස කුලරත්න ගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.







