හෝමාගම කටුවාන කාර්මික පුරයේ පිහිටි හෙල්මට් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද (21) පෙරවරුවේ හටගත් මහා ගින්නකින් පුද්ගලයන් පස් දෙනෙකු සිරුරුවලට බරපතළ හානි සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. කර්මාන්ත ශාලාවේ තිබූ විදුලි පංකාවක ඇති වූ විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

අද පෙරවරු 9.00 ට පමණ මෙම කර්මාන්ත ශාලාවේ තෙවැනි මහලේ ගින්න හටගෙන ඇති අතර, එය ඉතා වේගයෙන් හෙල්මට් නිෂ්පාදනය සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය ගබඩා කර තිබූ ප්‍රදේශය වෙත පැතිර ගොස් ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී ආයතනයේ සේවකයන් 80කට අධික පිරිසක් සේවය කරමින් සිට තිබේ.
කෙසේ වෙතත්, ගින්න හටගත් අවස්ථාවේදී සේවකයන් බහුතරයක් උදෑසන ආහාරය ලබා ගැනීම සඳහා මාර්ගයෙන් ඉදිරිපස පිහිටි අනෙක් ගොඩනැගිල්ල වෙත ගොස් සිටීම නිසා සිදු වීමට ගිය විශාල ජීවිත හානියක් වැළකී ගොස් ඇත. එහෙත් ගින්න හටගත් ගොඩනැගිල්ලේ පිහිටි ආපනශාලාවේ සහ රසායනික ද්‍රව්‍ය තිබූ කොටසේ රැඳී සිටි පස් දෙනෙකු මෙලෙස අනතුරට මුහුණ දී තිබේ. ඉන් තිදෙනෙකුගේ සිරුරු සම්පූර්ණයෙන්ම පිළිස්සී ඇති අතර අනෙක් සිරුරු දෙකට ද බරපතළ හානි සිදුව ඇත.
ගින්නෙන් මියගොස් ඇත්තේ දෙණියාය කොලවෙන්ගම පදිංචි 19 හැවිරිදි සහන් උදාර, අටකලම්පන්න කවුඩාවව පදිංචි 24 හැවිරිදි සචින් දිල්ශාන්, මස්කෙලිය පදිංචි 26 හැවිරිදි වර්ධරාජ් දමයන්ති, පන්නිපිටිය හොරහේන පාර සිරිමල්වත්ත පදිංචි 52 හැවිරිදි මාරියෝ එඩ්වඩ් සහ දෙණියාය කොලවෙන්ගම පදිංචි දිලිත් මධුශංක යන අයයි.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව, කොළඹ, දෙහිවල, හොරණ සහ කෝට්ටේ යන බලප්‍රදේශවලින් ගිනි නිවීම් රථ 10කට අධික සංඛ්‍යාවක් වහාම එම ස්ථානයට කැඳවීමට පියවර ගත්තේය. ශ්‍රී ලංකා ගුවන් හමුදාව, යුද හමුදාව සහ පොලිසිය එක්ව පැය දෙකකට අධික කාලයක් දැඩි පරිශ්‍රමයක් දරා ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට කටයුතු කළේය.
හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් රොෂාන් කුරුප්පුආරච්චි පස්වරුවේ සිද්ධිය වූ ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණය පැවැත්වූ අතර, අනතුරුව මළසිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා හෝමාගම මූලික රෝහල වෙත රැගෙන යාමට පියවර ගැනුණි. හෝමාගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.









