දිනසේන රතුගමගේ
වවුනියාව ගුඩ්ෂෙඩ් පාරේ නිවසක සැමියා විසින් බිරියට හා දරුවන් දෙදෙනාට වස පොවා සැමියාද බාල්කයක එල්ලී දිවි නසාගෙන ඇතැයි වවුනියාව පොලීසිය අද ( 7 ) ප්රකාශ කළේය.
සැමියා විසින් පවුලේ අයට ඊට පෙර දින රාත්රියේ වස පොවා ඔහුත් සිය දිවි හානි කරගෙන ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.
පොලීසිය පැවසුවේ සැමියා රාජ්ය ආයතනයක සේවය කරණ අතර බිරිය වවුනියාව මහරම්බකුලම ප්රදේශයේ පාසල් ගුරුවරියක බවයි.
මිය ගොස් ඇත්තේ ගැහැණු දරුවන්ය. මියගිය පිරිස සිවපාතසුන්දරම් කෞෂිකන් ( 42)කෞෂිකන් වරදරාණී (36 ) කෞෂිකන් මෛත්රී (9 ) සහ කේ.කේසරා (3 ) යන අය බවට හදුණාගෙන තිබේ.
ස්වාමි පුරුෂයා විසින් අධික මුදලක් ණය වශයෙන් ලබා ගෙන තිබීම නිසා එම පවුල ආර්ථික වශයෙන් අන්ත අසරණ තත්ත්වයකට පත්ව සිටියදී එම ණය මුදල් ගෙවීමට නොහැකිව රත්තරන් බඩු සියල්ලම විකුණා ඇතත් ඔහුට ණය බරින් නිදහස් වීමට නොහැකි විම හේතුවෙන් මේ තීරණය ගෙන ඇති බවට පොලීසියට මූලික වශයෙන් තොරතුරු හෙළි වී තිබේ.
මේ සිද්ධිය සැලවීමත් සමගම විශාල පිරිසක් එම නිවස වෙත යාමට පටන් ගෙන ඇති නිසා පොලීසිය පළාතේ ආරක්ෂාව දැඩි කොට තිබේ.
වවුනියාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.