ඩොලරයක් සඳහා ගෙවන මුදල පිළිබඳව මේ වනවිට බැංකු සහ ව්‍යාපාර ක්ෂේත්‍රය අතර දැඩි වික්ෂිප්ත භාවයක් නිර්මාණය වී ඇති බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ තත්ත්වයට හේතු වී ඇත්තේ ඩොලරයක් සඳහා ගෙවන මුදල රුපියල් 230ක් පමණක්ම නොව ඊට වඩා වැඩි නම්‍යශීලී අගයකින් පවත්වාගගෙන යාම වුද කළ හැකි බව මහ බැකු අධිපතිවරයා විසින් ඊයේ කරන ලද ප්‍රකාශයත් විදේශගත ශ්‍රමිකයන් විසින් එවනු ලබන ඩොලරයක් සඳහා අතිරේක ව රුපියල් 20ක් ගෙවන බවට මුදල් අමාතයංශය විසින් කරන ලද නිවේදනයත් නිසාය.
පසුගිය සඳුදා රාත්‍රියේ ශ්‍රි ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශ කරන ලද්දේ ඉහළ නම්‍යශීලීත්වයක් ඩොලරය වෙනුවෙන් අපේක්ෂා කරන අතර බැංකු විසින් ඩොලරයක් සඳහා රුපියල් 230 සීමාවේ රඳවා ගනු ඇතැයි අපේක්ෂා කරන බවය. මේ සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් ලබා ගැනීමට ඊයේ විනිමය ගනුදෙනුකරුවන් පිරිසක් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා හමුව ඇති අතර එහි අධිපතිවරයා ඔවුන් වෙත පවසා ඇත්තේ මහ බැංකුව විසින් ගත් පියවර මඟින් අපේකෂා කළේ ඩොලරයේ අගය පාවෙන විනිමය අනුපායකට ඉඩ හැරීම බැවින් රුපියල් 230 සීමාව ඉක්මවා ගනුදෙනු කිරීම හේතුවෙන් බැංකු හෝ විනිමය ගනුදෙනු ආයතනවලට ඊට ඓරහිව කිසිදු නිතිමය පියවරක් ගැනීමට අපේකෂා නොකරන බවය. මේ තත්ත්වය තුළ ඉදිරියේදී ඩොලරයේ අගය රුපියල් 230 සීමාව ඉක්මවා ගනුදෙනු විය හැකි බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතර මහ බැංකුව ඊයේ සියලුම බැංකු වලට චක්‍රලේඛයක් එවමින් ප්‍රකාශ කර ඇත්තේ විදෙස් ගත ශ්‍රමිකයන් වෙත දුන් ඩොලරයක් සඳහා රුපියල් 10ක අතිරේක මුදල ගෙවීම ඊයේ සිට නවත්වන ලෙසය. එසේ වුවද ඊයේ මුදල් අමාත්‍යංශය යළි විදෙස්ගත ශ්‍රමිකයන් සඳහා රුපියල් 20ක් ලබා දෙන බවට තීරණය කර ඇත. මේ තත්ත්වය යටතේ මේ වනවිට බැංකු ඔවුන් වෙත ලබා දෙන්නේ කවර අනුපාතයක්ද යන්න පිළිබඳව මේ වනවිට නිවැරදි ම පෙන්වීම් මහ බැංකුවෙන් රට තුළ පවතින වානිජ බැංකු වෙත ලැබී නොමැති බව වාර්තා වේ.
කෙසේ වුවද එහිදී මතුව ඇති විවාදිත කරුණ වන්නේ රුපියල් 230ට රුපියල් 20ක් එකතු කර ඩොලරයක් සඳහා මුදල ගෙවන්නේද නැතිනම් බැංකු විසින් පවතින ඉල්ලුම් සැපයුම අනුපාතය මත නියම කරන ලද මුදලට රුපියල් 29ක් එක් කොට ගෙවන්නේද යන්න පිළිබඳව ය. කෙසේ වුවද අද දින තුළ මේ සම්බන්ධයෙන් මහ බැංකුව මගපෙන්වීම්වලට අදාල චක්‍රෙල්ඛ යවනු ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේය.







