බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ටයිටැනික් ජීවිත

අප ඉන්නේ ගිලෙමින් ඇති නැවකය...

by editor
ජූනි 7, 2021
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter

සමන් කළුආරච්චි – (සිලිලාර බ්ලොග් අඩවියෙනි) –

“චීන පෝසිලේන් තේ පෝච්චියක් සූර්ය ග්‍රහ මණ්ඩලයේ අනෙක් ග්‍රහලෝක වගේම හිරු වටා ඉලිප්සාකාර ගමනක යනවා”

“කොහෙත්ම වෙන්න බැහැ”

“ඇයි නැහැ කියන්නේ … එහෙම තේ පෝච්චියක් පෘථිවියත්, අඟහරු ග්‍රහයාත් අතර අභ්‍යවකාශයේ ඇත්තටම සැරිසරනවා”

“වෙන්න බැහැනේ… ඒක ඇත්ත නම් අපිට පහසුවෙන්ම පුළුවන්නේ දුරේක්ෂයකින් බලලා ඒක ඇත්තද කියලා දැනගන්න”

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

“තේ පෝච්චියක් කියන්නේ පුංචි දෙයක්නේ. ඉතින් අද තියෙන බලගතුම දුරේක්ෂයටවත් ඒක අහුවෙන්නේ නැහැ. ඒත් තේ පෝච්චිය මේ දැනුත් අභ්‍යවකාශයේ සැරිසරනවා”

“ඇත්තටම….? ඒත් විශ්වාස කරන්න බැහැ ඒක”

“ඇයි බැරි…? ඉන්න කියලා දෙන්නම්”

XXX

යුරෝපයේ එක්තරා ගම්මානයක යුදෙව් ජාතික මිනිහෙක් පොඩි සිල්ලර කඩයක් කරගෙන ගියා. මේ ගම්මානයේ හිටියා යුදෙව්වන්ට කැමැති නැති කොල්ලෝ කණ්ඩායමක්. එක්තරා විදියට ආගම්වාදය – ජාතිවාදය ඔළුවට ගහපු කණ්ඩායමක්. (අර ඡන්දෙට කලින් අපේ රටේ හිටිය ඒත් දැන් ආගිය අතක් නැති  “සිංහ-ලේ” “බොදු බලේ” “මහසෝන් බලකාය” වගේ කණ්ඩායමක්)

මේ කොලු ‘ගැන්සිය’ බයිසිකල්වල නැගිලා හවසට හැමදාම ගම වටේ රෝන්දෙ ගහනවා. මේ පිරිස යුදෙව් ජාතිකයාගේ කඩය ඉස්සරහින් යද්දී “යුදෙව් බල්ලා… යුදෙව් බල්ලා” කියලා අපහාසයෙන් කෑගහන්න පුරුදු වෙලා හිටියා. මේ ජාතිවාදී කොලු කණ්ඩායමෙන් තමන්ගේ දරු පවුලට හානියක් වෙයිද කියලා බයෙන් තමයි යුදෙව්වා හැම තිස්සේම හිටියේ. මේ වගේ කණ්ඩායම්වලට කියලා යමක් පැහැදිලි කරන්නත් බැහැනේ… ඉතින් යුදෙව් ජාතිකයා දහ අතේ කල්පනා කළා මේ අනතුරින් බේරෙන්නේ කොහොමද කියලා. අන්තිමට ඔහුට ආවා අදහසක්.

ඉතින් පහුවෙනිදා අර කොල්ලෝ කණ්ඩායම “යුදෙව් බල්ලා” කියාගෙන කෑ ගහද්දිම හිනාවේගෙන ඉස්සරහට ආපු යුදෙව් ජාතිකයා අර කෑ ගහන කොල්ලෝ හැමෝටම කාසිය ගානේ දුන්නා. අපි හිතමුකෝ ලංකාවේ සල්ලිවලින් රුපියලක් වගේ කියලා. කොල්ලෝ පුදුම වුණා. ඒත් නිකම් ලැබෙන මේ මුදල හැමෝම සතුටින් වගේම පුදුමයෙන් භාර ගත්තා. මෙහෙම දවස් දෙකක්ම සිද්ධ වුණා. තුන් වැනි දවසේ මේ රුපියල සත පනහට බැස්සා.

ඒත් ඉතින් කමක් නැහැනේ. “යුදෙව් බල්ලා” කියලා කෑගහන්න වැඩ මහන්සියක් යන්නේ නැහැනේ. සත පනහ පාඩු නැහැ. කොල්ලන්ට හිතුණා. යුදෙව් ජාතිකයාත් සතුටින් මුදල් බෙදුවා.

දවස් දෙකකට පස්සේ යුදෙව් ජාතිකයා මේ ගාන සත විසි පහට බැස්සුවා. කොල්ලෝ ටික තමන්ගේ අමනාපය පෙනෙන්නට සැලැස්සුවත්, මේ මුදල අරගෙන හරි තමන්ට ඒ විදියට කෑ ගහන්න කියලා යුදෙව් ජාතිකයා කොල්ලන්ගෙන් බැගෑපත්ව ඉල්ලුවා. සත විසි පහේ මුදලට කොල්ලො ටික ඒ දේ කළත් ඒ තරම් ජවයකින් නෙමෙයි කළේ. මොකද කලින් රුපියලක් ලැබිලා, දැන් සත විසිපහකට ඒක අඩුවීම ඒ තරම් ලාභදායී දෙයක් නෙමෙයිනේ. ජවයක් නැති වුණත් එයින් පවා තමන් කොයි තරම් සතුටට පත්වෙනවා ද කියන එක  යුදෙව් ජාතිකයා එළිපිටම පෙන්නුම් කළා.

තවත් දවස් දෙකකට පස්සේ යුදෙව්වා ඒ මුදල සත පහට බැස්සුවා. මෙතැනදී නම් කොල්ලන්ට හොඳටම තරහ ගියා. එත් යුදෙව් ජාතිකයා පින්සෙන්ඩු වෙලා කිව්වා ඊට වඩා මුදලක් දෙන්න තරම් වත්කමක් තමන්ට නැහැ කියලා. තරහ ගිය කොල්ලෝ ටික “සත පහකට කෑ ගහන්න අපිට බැහැ” කියලා සද්දයකුත් දාගෙන යන්න ගියා.

එයින් පස්සේ ආයෙ කවදාවත් ඒ කොල්ලො ටික යුදෙව් ජාතිකයාගේ කඩය ඉස්සරහින් යද්දී කෑහුවේ නැහැ. සත පහකට කෑ ගහලා මොන ලාභයක්ද? ඉතින් ඊට පස්සේ කොල්ලෝ කාණ්ඩය යුදෙව්වාව ගණන් ගත්තෙවත් නැහැ. යුදෙව් ජාතිකයාත් හිතේ සහනයෙන් කිසිම කරදයක් නැතිව තමන්ගේ වෙළෙඳ සැල කරගෙන ගියා.

කතාව ඉවරයි කියලා හිතුවාට ඉවර නැහැ.

XXX

බොහොම තරබාරු පුද්ගලයෙක් කන්දක් මුදුනේ ඒ කන්දේ අද්දරටම වෙන්න හිටගෙන ඉන්නවා. ඔබත් ඉන්නේ කන්ද මුදුනේ… අර තරබාරු මිනිසාට පිටිපස්සෙන්.

මේ කන්ද පාමුල තියෙනවා රේල් පාරක්. මේ රේල් පාරේ පුංචි ළමයින් පස් දෙනෙක් සෙල්ලම් කර කර ඉන්න හැටි ඔබට පේනවා.

ඒ එක්කම ඔබට පේනවා ගල් පුරවා ගත්ත ට්‍රොලියක් තිරිංග නැතිව මේ රේල් පාරේ වේගයෙන් ඇදී එන හැටි. මේ ට්‍රොලිය දරුවන් යටකරගෙන යන්න විනාඩියක්වත් කාලයක් ගතවෙන්නේ නැති බව පැහැදිලියි.

සෙල්ලමට තදින්ම හිත ගිහින් හිටිය දරුවන්ට තමන්ට සිද්ධ වෙන්න යන මේ මාරක අනතුර ගැන කිසිම හැගීමක් නැහැ.

ඔබ කෑගැහුවත් ට්‍රොලියේ සද්දය නිසා එයාලට ඇහෙන්නේ නැහැ. මේ දරුවන් පස් දෙනාගේ ජීවිත බේරා ගන්න එකම ක්‍රමයයි තියෙන්නේ…. අර තරබාරු මනුස්සයාව කන්ද මුදුනින් පහළට තල්ලු කරන එක. එතකොට ට්‍රොලිය හිරවෙලා දරුවන් පස් දෙනාගේ ජීවිත රැකෙන බව විශ්වාසයි. ඒත් තරබාරු පුද්ගලයාගේ ජීවිතය එතැනින්ම ඉවරයි. එක් පුද්ගලයෙක්ගේ ජීවිතය අනතුරට ලක් කරලා දරුවන් පස් දෙනෙකුගේ ජීවිතය බේරා ගන්නට ඔබ සූදානම්ද? ප්‍රශ්නය අහන්නේ ඔබෙන්.

ඔය කිව්ව කරුණු තුන අවස්ථා තුනකට සම්බන්ධ කාරණා තුනක්. ඒත් මිනිස්සුන්ගේ සමාජ ජීවිත විවරණය කරන ප්‍රබල තැන් තුනක්. දැන් අපි බලමු මේ කරුණු කාරණා නිරාකරණය කරගන්න. (මේ කරුණු කාරණා මට ඉගෙන ගන්න ලැබුණේ පහුගිය අවුරුද්දේ වෙස්ලියන් සරසවිය ක්‍රියාත්මක කළ සමාජ මනෝවිද්‍යා (Social Psychology) අධ්‍යයන පාඨමාලාවකට සම්බන්ධ වීමෙන් බවත් ස්තුති පූර්වකව සඳහන් කරන්නට ඕනේ).

Bertrandrussell
බර්ට්‍රන්ඩ් රසල්

බර්ට්‍රන්ඩ් රසල් සහ චීන තේ පෝච්චිය…

අභ්‍යවකාශයේ චීන තේ පෝච්චියක් සැරිසරනවා කියන කාරණාව විහිළුවක් වගේ පෙනුනත් ඒක කිව්වේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. ලෝකයේ බිහිවෙච්ච අතිශය බුද්ධිමත් මිනිසුන් අතරින් කෙනෙකු වෙච්ච ඒ වගේම නොබෙල් ත්‍යාගයෙන් පවා පිදුම් ලැබූ බ්‍රිතාන්‍ය ජාතික බර්ට්‍රන්ඩ් රසල් (Bertrand Russell). ඔහු දාර්ශනිකයෙක්, ගණිතඥයෙක්, විප්ලවීය සංකල්ප ගණනාවක් ලොවට දායද කළ විශිෂ්ට අධ්‍යාපනඥයෙක්. ඔහුගේ පොත් පත් සහ සංකල්ප ලෝකය පුරාම සරසවිවල එදා සිට අද දක්වාම දිනපතා භාවිතයට ගැනෙනවා. රසල් අතින් ලියැවුණු පොත්පත් සංඛ්‍යාව අති විශාලයි. ඒ හැම පොතක්ම වගේ විවිධ භාෂාවන්ට පරිවර්තනය වෙමින් අද දවසේ පවා යළි යළිත් මුද්‍රණය වෙනවා. දෙවියන් වහන්සේ කියලා කෙනෙක් ඉන්න බව රසල් කොහෙත්ම පිළිගත්තේ නැහැ. තමන්ගේ මතය තහවුරු කරමින් ඔහු ප්‍රසිද්ධ දේශන පැවත්වුවා විතරක් නෙමෙයි “Why I Am Not a Christian” කියලා අතිශය සුප්‍රකට පොතක් පවා ප්‍රකාශයට පත් කළා. 1927 දී මුලින්ම ප්‍රකාශයට පත්කළ මේ පොතේ පිටපත් මිලියන ගණනින් අලෙවි වුණා; තාමත් වෙළෙද පොලේ විකිණෙනවා. ඉතින් කලින් කිව්ව චීන තේ පෝච්චියේ කතාව රසල් කිව්වේ සර්ව බලධාරී දෙවියන් කියලා කෙනෙක් නැහැ කියන කාරණාව පදනම් කරගත්ත දාර්ශනික සංකල්පයක් විදියට. සරසවිවල අධ්‍යයනවලටත්, සමාජ පර්යේෂණවලටත් බහුලව භාවිත කරන මේ සංකල්පය ප්‍රසිද්ධ වුණේ “රසල්ගේ තේ පෝච්චිය” (Russell’s teapot) කියන සුප්‍රකට නාමයෙන්.

චීන තේ පෝච්චියක් අභ්‍යවකාශයේ සැරිසරනවා කියන එක කවුරුවත් පිළිගනීවී කියලා හිතන්න තරම් රසල් මෝඩයෙක් නෙමෙයිනේ. ඒත් තමන් ඒ කියන කාරණාව ඔප්පු කරන්න බැරි නිසා පමණක්ම මෙහෙම තේ පෝච්චියක් නැහැ කියලා කියන්න කාටවත් බැහැ කියන එක තමයි රසල්ගේ දාර්ශනික සංකල්පය කාටත් තේරෙන විදියට අතිශයින්ම සරල කළාම ලැබෙන තේරුම. ඒත් ඉතින් අපිට තියෙන සාමාන්‍ය දැනුම, අපි හිතන පතන විදිය එහෙමත් නැතිනම් අපි ඉගෙන ගෙන තියෙන දේවල් එක්ක බැලුවම මෙහෙම තේ පෝච්චියක් අභ්‍යවකාශයේ සැරිසරනවා කියලා අපිට කොහෙත්ම හිතන්න බැහැනේ. ඒත් මෙහෙම දෙයක් බයිබලයේ සටහන් වුණා නම්, හැම ඉරිදාම පල්ලියේ පූජකවරයා මෙහෙම තේ පෝච්චියක් ගැන කතා කළා නම්, දරුවන්ට නිතිපතා උගන්වන ආගමික පොත්පත්වල පාඩමක් විදියට ලියැවුණා නම් විද්‍යාව කොයි තරම් දියුණු වුණත් මේ තේ පෝච්චියේ කතාව වෙනස් වෙනවා නේද කියලා රසල් ඇහුවා.

දෙවියන් වහන්සේගේ පැවැත්ම, මිනිසා මැවීම ගැන බරපතළ විවේචනයක් විදියට තේ පෝච්චි සංකල්පය ගෙනහැර පෑවත් ඊට වඩා පුළුල් දාර්ශනික අර්ථයකින් ඔහු මේ සංකල්පය විග්‍රහ කළා. පාදඩ පාලකයන් පිරිසකට නුගත් සමාජයක් කොයි තරම් මිත්‍යාවකට ගෙනි යන්න පුළුවන්ද කියන කාරණාව විග්‍රහ කරන්නත් රසල්ගේ තේ පෝච්චි සංකල්පය පාවිච්චි කරන්න පුළුවන්. හරියට අර කැලණිය පන්සලට නයා ආවා වගේ.

යුදෙව් බල්ලා

යුදෙව් ජාතික වෙළෙන්දාගේ කතාව සුප්‍රකට යුදෙව් ජන කතාවක්. ජනකතාව නම් කියලා ඉවර තමයි. ඒත් කතාව ඉවර නැහැ කියලා කලින් කිව්වේ හේතුවක් ඇතිව. මොකද සැබෑ කතාව දිග හැරෙන්නේ ඔය කිව්ව ජනකතාව සමාජ විද්‍යාත්මක අරුතින් එහෙමත් නැතිනම් මනෝ විද්‍යාත්මක අර්ථයෙන් තේරුම් ගත්තාට පස්සේ නිසා. එහෙම තේරුම් ගත්තොත් ඔබ වටේ සිද්ධ වෙන බොහොම දේවල් ඉතා පරිස්සමින් වටහා ගන්නට ඔබටම පුළුවන් වේවි. ඔය කිව්ව කොල්ලන් කණ්ඩායමට මුලින්ම තිබුණේ යුදෙව් ජාතිකයා ගැන වෛරයක්. ජාතිවාදී ආගම්වාදී විරෝධයක්. යුදෙව් ජාතිකයා අනුගමනය කළේ ඉතාම සියුම් මනෝ විද්‍යාත්මක විධික්‍රමයක්. ඒ තමයි අර තරුණ කණ්ඩායම අතර තිබුණු ජාතිවාදී ආකල්පය එහෙමත් නැතිනම් එයාලගේ අභිප්‍රේරණය (motivation) මූල්‍යමය ප්‍රතිලාභයක් ලබා ගැනීම (monetary reward) කියන කාරණාවට පරිවර්තනය කරපු එක. තමන්ට ‘යුදෙව් බල්ලා’ කියලා කතා කරන එක සතුටක් බව පෙන්නුම් කරන්න තමයි අර විදියට සල්ලි බෙදුවේ. ඉතින් ඔය විදියට කොල්ලන් අතර තිබුණු මූලික අරමුණ නන්නත්තාර කරලා දැම්මට පස්සේ තමයි යුදෙව්වා තමන්ගේ මූල්‍යමය බංකොලොත්භාවය ප්‍රසිද්ධ කළේ. මේ වෙද්දී කොල්ලන්ට තමන්ගේ මුල් අරමුණු සහමුලින්ම අමතක වෙලා ඉවරයි. අන්තිමේදී කොල්ලන් කණ්ඩායම අපහාස කරන එක නැවැත්තුවේ සත පහකට දහයකට යුදෙව්වා “සතුටු කිරීම” ලාබයක් නැති වැඩක් කියලා හිතලයි. කොටින්ම කිව්වොත් කොල්ලන්ට හිතුණේ තමන් මේ විදියට අපහාස කරන එක නතර කළ නිසා දැන් යුදෙව්වාට සෑහෙන්න හිතට අමාරු ඇති කියලයි. මුලින් යුදෙව්වාට අපහාස කරන්න කෑගැහුව කොල්ලෝ ටික අන්තිමේදී අපහාසය නැවැත්තුවේ යුදෙව්වාට රිදවන්න හිතාගෙනයි.

ඔබට හිතේවි කොයි තරම් මෝඩ කොල්ලන් රැලක්ද කියලා. ඔව්… හැබැයි අපිත් ඉන්නේ එතැනම තමයි. සරලව මෙහෙම හිතමු. රටක ඡන්දයක් අත ළඟම. දැන් ඉතින් ජාතිප්‍රේමය, දේශප්‍රේමයත් හැම තැනම. කොටි නැගිටින්න ඔන්න මෙන්න. රටේ නායකයා දරුවො වඩා ගන්නවා. නායකයාගේ දරුවෝ පැල්පත්වලට ගිහින් ප්ලේන්ටි බොනවා. ඔය එක්කම තමයි වඳ කොත්තුත් විකිණෙන්නේ. කැලණිය පන්සලේ මහාචාර්ය නායක හාමුදුරුවන්ට විශාල ශබ්ද ඇහෙන්න පටන් ගන්නවා. පල්ලිවල බෝම්බ පිපිරෙනවා. මොනවා නැතත් අපිට රටක් තියෙන්න ඕනේ කියලා කඩුව උස්සගත්ත සිංහයාගේ කොඩිය අරන් චීවරධාරීන්, කාදිනල්වරුන්, කලාකරුවන්, ගොමාලා (වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය) වගේ එක එක සංවිධාන වියත් මග වගේ සංවිධාන රැස්වීම් තියෙනවා. පාතිමාලා මුහුණු වහගෙන ගෝනි බිල්ලන් වගේ පාරේ ගිය කාලෙ ඉවර වෙන්නයි යන්නේ කියලා අපිට මාර විදියේ සතුටක් දැනෙනවා.

දැන් සැප ද?

චන්දෙන් පස්සේ ව්‍යාපතිය ඉවරයි. බිම් අඟලක් නොදෙනවා කිව්ව රටේ භූමිය හෙක්ටයාර් ගණනින් උගස් කෙරෙනවා. වනාන්තර රාජ්‍ය අනුග්‍රහයෙන් එළි පෙහෙළි වෙනවා. වරද ඇත්තේ පාස්කු දා පල්ලියට යාම බව නොකියා කියන තරමට කාදිනල්වරයා හීලෑ වෙනවා. චීවරධාරීන් දේශපාලන වේදිකාවෙන් බැහැලා මුනිවත රකිමින්ම පිරිකර ලිහලා බලන්න පටන් ගන්නවා. ඔක්ස්ෆර්ඩ් උපාධිධාරීන් දරපු තනතුරු කෝච්චියේ මාලකඩපු හොරුන්ට ලබාදීම විද්‍යාත්මක පත්කිරීමක් බව කවුරුත් සම්මුතියෙන් පිළිගන්නවා. ජාත්‍යන්තර රතු නිවේදන ඇති සාටකයක් එල්ලා ගත්ත  තක්කඩියෙක් සංචාරකයන් අරගෙන රට පුරා ගෙනිහින් කොරෝනාව රට පුරා පතුරවනවා. නීලකාස හොරුන් නිදොස් කොට නිදහස් වෙනවා. තුවක්කු එකිනෙක ගැටිලා අංක මැකෙන බව උත්තරීතර අධිකරණය පවා පිළිගන්නවා. වැවිලි භෝග විකුණනන්න ප්‍රසිද්ධ වෙලා තිබුණු රටක් වරාය, ගොඩබිම, යුද හමුදා මුලස්ථාන භුමිය, මුහුද තීරුව විකුණන රටක් බවට පත්වෙනවා. ජිම් හදන්න මුදල් ප්‍රතිපාදන වෙන්වෙන අතරේ රෝගී ජීවිත බේරාගන්න කියලා ජනතා මුදල් හිඟාකනවා. දිරාපත්වන ඇදන් හදන්න ශ්‍රමදාන පවත්වනවා. කොටින්ම කිව්වොත් දැන් කවුරුත් තාප්පවල චිත්‍ර අදින්නෙත් නැහැ. එක රටක් එක නීතියක් කියලා කවුරු හරි කිව්වද කියන එකවත් දැන් කාටවත් මතක නැහැ. අල කීයද… ළූණු කීයද… දැන් සැපද…? එහෙම දැන් කවුරුත් අහන්නේ නැහැ.

මෙතැනදීත් සිද්ධ වුණේ අර කිව්ව යුදෙව්වාගේ කතාවම තමයි. හොරා නොකන, පාදඩයන් නොවන පාලකයන් පත් කරගන්නට තියෙන ජනතා අයිතිය දේශප්‍රේමය, ජාතිආලය කියන අල්ලසට යටවෙච්ච එක.

කලින් කතාව වගේම මේ කතාවත් ඉවර නැහැ. ඊළග මැතිවරණයේදී මේක මුල පටන් ආයෙත් අනුපිළිවෙළට සිද්ධ වෙනවා. පහුගිය අවුරුදු 70දිම සිද්ධ වුණා වගේ. හැබැයි නයා ආපහු එන්නේ නැහැ. නයා වෙනුවට එන්න පුළුවන්, වෙන්න පුළුවන් දේවල් ඕන තරම් තියෙනවා.

අන්තිම සංසිද්ධිය ගත්තම අර කිව්ව තරබාරු මනුස්සයා කන්දෙන් පහළට තල්ලු කිරීම වරදක් ද නැද්ද? එක් පුද්ගලයෙක් බිලිදීලා ජීවිත පහක් බේරා ගැනීම වටිනවාය කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. තවත් කෙනෙකුට හිතෙන්න පුළුවන් තනි පුද්ගලයෙකුගේ ජීවිතය පවා කොයි තරම් නම් පූජනීය ද කියලා. ඔබේ සිතිවිලිවලට මුළුමනින්ම පදනම් වෙන්නේ ඔබ හැදිලා වැඩුණු පරිසරය, පුරුෂාර්ථ, සංස්කෘතිය, ආගමික සංකල්ප වගේ දේවල්. ඒ හින්දා ජීවිතයක වටිනාකම තීරණය වෙන්නේත් ඔය කිව්ව සමාජ පරිසරය මත තමයි.

ඒත් රසල් කිව්වා වගේම හිතන්න පතන්න බැරි ජාතියක් නම් ඔය කරුණු කාරණා තීරණය වෙන්නේ තමන්ගේ දේශපාලන වහල්කම මත. සරලවම කියනවා නම් ජාතිද්‍රෝහියෙක් කියලා තමන්ගේ දේශපාලන නායකයා කාට හරි ප්‍රසිද්ධියේ බැන්නොත් ඒ පුද්ගලයා එල්ලා මරා දමන්න ඕනේ කියන තැනටම තල්ලු වෙන ජනතාවක් තමයි එවැනි සමාජයක බිහිවෙන්නේ. අපිට හිතෙන්න පුළුවන් අපි නම් ඔය කියන වහල් සමාජයට අයිති නැහැ කියලා. හරිම ලේසියෙන් ඒ ගැන තමන්ටම පරීක්ෂා කර බලන්න පුළුවන්.

ලොවෙත් සිදු නොවුණු ම්ලේච්ඡකම

ලෝකයේ කිසිම රටක සිද්ධ නොවුණු, අහන්නවත් නොලැබුණු අතිශය ම්ලේච්ඡ ක්‍රියාවක් ලංකාවේ සිද්ධ වුණානේ. ඒ තමයි දේශපාලන තුණ්ඩු මත වැක්සින් ලබා දීම. ඒ වගේම දේශපාලන හිතවත්කම්, ලැයිස්තු මත වැක්සින් ප්‍රමුඛතා ලබා දීම. මේ විදියේ අතිශය අමානුෂික පාදඩ ක්‍රියාවන්වලදීත් ඒවා විවේචනය කරන්න ඔබ මැලිවෙනවා නම්, නැතිනම් නොදැක්කා වගේ ඉන්නවා නම්… රටේ වන සම්පත,  සුන්දර වෙරළ තීරුව සාහසික විදියට විනාශ කරලා භුමි සම්පත පවා විකුණා දමද්දී ඒ ගැන මුනිවතම රකින්න හිතෙනවා නම්, අඩුම තරමින් විරෝධය පළ කරන්න තරම් හිත හදාගන්න බැරි නම්… රටේ ප්‍රධානතම මංකොල්ලකරුවන්, දූෂිතයන්, හොරුන් නිදොස් කොට නිදහස් කෙරෙද්දී පහුගිය ආණ්ඩුවේ වැරදි විතරක් පේන්න ගන්නවා නම්, දේශපාලකයන් රැක ගන්න විතරක්ම ඔවුන්ගේ ඉත්තන් වෙච්ච කුඩු ජාවාරම් කරුවන් පොලිසිය මහ දවල් මරා දමද්දී අත්පුඩි ගහන්න හිතෙනවා නම්… බස් රියේ, දුම්රියේ එල්ලී වැඩට යද්දී තමන් මේ අපා දුක් විදින්නේ තමන්ම බලයට පත් කළ පාලකයන් නිසා බව හීනෙකින්වත් හිතෙන්නේ නැතිනම්… ප්‍රභූ පංතියට අයිති වරප්‍රසාද නීතිමය අයිතීන් තම පංතියට නොලැබෙන බව සක් සුදක් සේ පැහැදිලි වෙද්දීත් ඒ පාලකයන් වෙනුවෙන්ම පෙනී හිටින්නට හිතෙනවා නම් අපි පිළිගත්තත් නැතත් අපිත් වහල්ලුම තමයි.

ජාතියක් මළගමට ගෙන යන මොහොතක ඒ සාහසික අපරාධයට එරෙහිව අරගලකාරී මාවතක් තෝරා ගන්නවා වෙනුවට ඒ හැම දෙයක් කවටකමට ලක්කරමින් සිනාසීමේ මාවතක් දිගේ තමයි අපි දැන් ගමන් කරන්නේ. ඒත් අපි මේ කවටකමින් විහිළු තහළු කරමින් සිනාසෙන්නේ අපේම දරුවන්ගේ මළගමට බව වටහා ගන්නට තාමත් අපි බොහොම දෙනෙකුට හැකියාවක් නැති බව පැහැදිලියි. වේදිකාගාරයේ දර්ශන විනෝදජනක වෙන්නේ ඔබ ප්‍රේක්ෂකාගාරයේ ඉන්න තාක් විතරයි කියලා කවුරුන් හෝ කියා තිබුණා.

ටයිටැනික් නැව ගිලා බහිද්දී නැව ගිලෙන බව මුලින්ම මගීන්ට කිව්වේ නැහැ. ඒ වෙනුවට වාදක කණ්ඩායම් වාදනය සැපයුවා. මගීන්ට ආහාර පාන ලැබුණා. විනෝදාත්මක දේවල් දිගින් දිගටම පවත්වාගෙන ගියා. අපිත් දැන් ගෙවන්නේ ටයිටැනික් මගීන්ගේ ජීවිත. තමන්ගේ සුන්දරම තරුණ කාලය ජරපත් මහල්ලන්ගේ සුඛ විහරණය වෙනුවෙන් වැය කරලා නොකා නොබී මිය යන තරුණක නොදැනුවත් ප්‍රහර්ෂය අපව මේ මොහොතේ තිගස්වනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

එක්ස්ප්‍රස් පර්ල්… අපට අප ගැන කියා ගිලී යන ඇය…

Next Post

චීනයේ හැදූ පළමු අධිවේගී ඩබල්-ඩෙකර් දුම්රිය යුරෝපයේ ධාවනයට

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.