ජනපති “බුක් ෆෙයාර්“ යයි…

ශ්‍රී ලංකාවෙන් විදේශ රටවලට ගෙන ගොස් ඇති දුර්ලභ සහ ඓතිහාසික වටිනාකමකින් යුතු  ග්‍රන්ථ හා ලිපි ලේඛන ඇතුළත් විශේෂ පොත් ප්‍රදර්ශනයක් 75 වන නිදහස් සමරුවට සමගාමීව සංවිධානය කිරිමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍ර ශාලා පරිශ්‍රයේ දී  23 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාතික පොත් ප්‍රදර්ශනය නැරඹීමට අද (22) පෙරවරුවේ එක් වූ අවස්ථාවේ දී ය.

නිදහස් සමරු පොත් ප්‍රදර්ශනය සඳහා  ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ද සහාය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා පැවසීය.

අද පෙරවරුවේ ප්‍රදර්ශන භූමිය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ   ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර   ඇතුළු  පිරිස විසින් පිළිගනු ලැබීය.


ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති සමන් අතාවුදහෙට්ටි, පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සාමාජිකයන් වන විජිත යාපා, එච්.ඩී. ප්‍රේමසිරි, ආරියදාස වීරමන්,අතුල ජයකොඩි   මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙවර පොත් ප්‍රදර්ශනයට දෙස් විදෙස් පොත් ප්‍රකාශකයන්ගේ කුටි 400කට වැඩි ප්‍රමාණයක් ඇතුළත්ව ඇති අතර එම ප්‍රදර්ශන කුටි වෙත යමින් ඒවා නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා පොත් ප්‍රකාශකයන් සහ ලේඛකයන්ගේ තොරතුරු විමසමින් කෙටි කථා බහක නිරත විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ   ප්‍රදර්ශන භූමිය වෙත පැමිණ සිටි ජනතාව සමග ද සුහද කතා බහක නිරත විය

Exit mobile version