ජාතික ජනබලවේග නායක ජනාධිපති අනුර කුමාර දිසානායකට මෝල්ටාවේ දූපතක් සමඟ සම්බන්ධතා පවතින බවත් තම රජයක් යටතේ මේ සම්බන්ධව විමර්ශනයක්කර දඬුවම් කරන බවටත් චෝදනා කරමින් තමන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව කොන්දේසි විරහිතව කනගාටුව පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි අද (29) කොළඹ දිසා අධිකරණයවෙත දැනුම් දුන්නේය.
තමන්ට සිදු කළ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියන දහයක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ගොනුකර තිබූ නඩුවක් අද කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටි තිසකුට්ටි ආරච්චි සිය නීතිඥවරු මාර්ගයෙන් මෙම දැනුම්දීම සිදුකළේය.
මෙහිදි ඔහු වැඩිදුරටත් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ කරුණු තහවුරු කර ගැනීමකින් තොරව තමා මේ ප්‍රකාශය සිදු කළ බවයි
” ජනාධිපති මැතිවරණ සමයේ දී දේශපාලන වේදිකාවෙ පළ කළ අදහස් සම්බන්ධව වර්තමාන ජනාධිපතිතුමා විසින් සිදුකරන ලද පැමිණිල්ලක් තිබුණා. ඒකෙ නඩු විභාගය ගැන තමයි අද දවසේ තිබුණෙ.”
“වර්තමාන ජනාධිපතිවරයා විසින් මා සම්බන්ධව දමා තිබූ පැමිණිල්ල විභාග කළා. අපි දෙගොල්ල සමතයකට පත් වුනා. අද කොන්දේසි විරහිතව කණගාටුව ප්‍රකාශ කිරීම හරහා අපි ඒ නඩුව අද දවසේ සමතයකට පත් කර ගත්තා. මේක අධිකරණ කටයුත්තක් නිසා අපි ලිඛිතව දීලා තියනවා කොන්දේසි විරහිත කණගාටුව පල කරනවා කියලා. ” තිස්සකුට්ටිආරච්චි මාධ්‍යයට කීවේය.







