ලලිත් චාමින්ද –
ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග ගිං ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බැව් ගිං ගඟ වාරිමාර්ග ඉංජිනේරු පියුමි ද සිල්වා සඳහන් කළාය.
අද (19) දහවල් වන විට ගිං ගඟේ බද්දේගම සහ තවලම ජල මාපකවලට අනුව ජල මට්ටම ඉහළ යමින් පවතින බවද ගිං ගඟ වාරිමාර්ග ඉංජිනේරුවරිය සඳහන් කළාය.
කෙසේ වුවද මේ වනතෙක් සුළු ගංවතුර තත්ත්වයකට පවා ගිංගඟේ ජල මට්ටම ඉහළ ගොස් නොමැති බවද වාරිමාර්ග ඉංජිනේරුවරිය පවසන්නීය.
අද දහවල් 12 වන විට ගිං ගඟේ බද්දේගම ජලමාපකයේ ජල මට්ටම මීටර් 2.34 දක්වා ඉහළ ගොස් තිබූ අතර තවලම ජල මාපකයේ ජල මට්ටම මීටර් 2.37 දක්වා ඉහළ ගොස් තිබුණි.
එහෙත් ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග ගංවතුර තත්වයක් ඇතිවීමේ තත්වයක් නිර්මාණය වී ඇති බවද ගිංගඟ වාරිමාර්ග ඉංජිනේරුවරිය සඳහන් කළාය.
ධාරානිපාත වර්ෂාවත් සමග ගිං ගඟ පහළ නිම්නයට අයත් පහත්බිම් රැසක් ජලයෙන් යටවී තිබේ.
ගිං ගඟ පහළ නිම්නයට අයත් ඕපාත. හෝලුවාගොඩ මීපාවල කුරුන්ද පහළ වක්වැල්ල ප්රදේශවල පිහිටි එළවළු කොරටු සහ පලා කොටු ජලයෙන් යටවී ඇති බැව් ගොවිහු පවසති.







