ගෑස් සංයුතියේ පවතින භයානකකම ගැන පසුගිය අප්‍රියෙල් මාසයේ සිට දිගින් දිගටම පාරිභෝගික කටයුතු භාර අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන සහ ලසන්ත අලගියවන්නට පෙන්වා දුන් බවත් ඔවුන් දිගින් දිගටම මෙය වසාගෙන සිටි බවත් පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන චෝදනා කරයි.
ශීත රටවල භාවිත කරන ගෑස් සංයුතියක් අප රට වැනි රටවල භාවිත කිරීමට ඉඩදීමෙන් කරන මේ අකටයුත්තට අප හැමෝටම වග කියනන්ට සිදුවන බව තමන් දිගින් දිගටම ප්‍රකාශ කළත් කිසිදු පියවරක් නොගත් තැන පසුගිය ජූලි මාසයේ ඇමතිවරුන් දෙදෙනාටම මේ පිළිබඳව ලිඛිතවම දැන්වීමට කටයුතු කළ බව ද ගුණවර්ධන සඳහන් කරන්නේ ඊයේ චමුදික සමරවික්‍රමගේ ටෘත් විත් චමුතදිත යූ ටයුබ් නාළිකාවට අදහස් දක්වමිනි.
“ මුලින්ම ලිට්රෝ ගෑස් සමාගම සිල්න්ඩරවල ධාරිතාව වෙනස් කරල වංචාවක් කළා. එය රටම දන්නවා. එහිදී ඔවුන් කිව්ව කතාවක් තමයි ලීටර 18 ටැංකිය (ප්‍රිමියම් ලෙස වෙළෙඳපොළට එවූ අඩු බර සිලින්ඩරය) වැඩියෙන් ආහාර පිසින්න හැකියාවක් ඇති බව. එහි සංයුකිය වෙනස් කිව්වා. කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩරය සාම්ප්‍රදායික විදිහට එන එකක් තියල කිව්ව. එහි සංයුතිය වෙනස් නෑ කියලත් කිව්වා“
වැඩිපුර උයන්න පුළුවන් කියල ප්‍රමිතියක් ලෝකේ කොහෙවත් නෑ. අපි මේ ගෑස් සිලින්ඩර දෙකම ඉන්ටර්ටෙක් කියන රසායනාගාරයේදී විධිමත් පරීක්ෂාවකට ලක් කළා. අපට ඕන වුණේ සමාගම කියන මේ කතාව විද්‍යාත්මකව පැහැදිළි කර ගන්නයි. එහිදී තමයි අපට දැන ගන්න පුළුවන් වුණේ ලිට්රෝ සමාගම කියන්නේ බොරු බව. ඔවුන් මෙම සිලින්ඩර දෙකටම දාල තියෙන්නේ එකම සංයුතිය.
ඒ කලින් තිබුණු ප්‍රොපේන් සියයට 20 බියුටේන් සියයට 80 වෙනුවට බියුටෙන් ප්‍රොපේන් සියයට 50 – 50 ප්‍රතිශතය. මේ සංයුකිය ශීත රටවලට ගැලපුණාට අපේ රට වැනි රටකට ගැලපෙන්නේ නෑ. ප්‍රොපේන් ඉතාම ඉක්මනින් වාශ්පවන අපේ වැනි ඝර්ම කලාපික රටවලදි අනතුරුදායක තත්වයක් ඇතිවෙන සංඝටකයක්. මේ නිසයි අපි දිගින් දිගටම මේ ගැන ප්‍රශ්න කළේ. මට තනතුරින් යන්න වීමටත් මෙය හේතුවක් වුණා.