අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 22 ක පවුල් 944කට අයත් පුද්ගලයින් 3307 දෙනෙකු පිඩාවට ලක්ව ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.
අයහපත් කාලගුණික තත්ත්වයෙන් නිවාස හතකට අර්ධ වශයෙන් හානි වි ඇති අතර ගාල්ල පියදිගම සුරක්ෂා මධ්‍යස්ථානයේ පිඩාවට පත් පුද්ගලයින් 60 දෙනෙකු රැඳී සිටින බවද ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.
එමෙන්ම පවතින අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල නගරයේ මාර්ග රැසක් ජලය යට වී තිබෙන අතර මේ හේතුවෙන් ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වී තිබේ..

ගාල්ල බද්දේගම ප්‍රධාන මාර්ගය තලාපිටිය, බෙලිගහ සහ කහදුවවත්ත යන ප්‍රදේශවලින් සම්පූර්ණයෙන්ම ජලය යටවී තිබෙන අතර අතුරු මාර්ග රැසක් ද ජලයෙන් යට වී ඇත.
ගාල්ල, මොරගොඩ ඇල පිටාර ගැලීම නිසා මොරගොඩ ප්‍රදේශයද ජලයෙන් යට වී තිබේ. එහි නිවාස කිහිපයක්ද ජලයෙන් යටවි ඇත. අවිධිමත් සංවර්ධන ක්‍රියාවලිය, අනවසර ඉදිකිරීම් සහ නිසි ලෙස කානු පද්ධති ශුද්ධ නොකිරීම මෙම තත්ත්වයට හේතුවි ඇති බැව් ප්‍රදේශවාසීහු පවසති.
මේ සම්බන්ධයෙන් බලධාරීන් කීපවරක් දැනුවත් කළද විසඳුමක් නොලැබුණු බවත් සුළු වර්ෂාවකදි පවා මෙම ප්‍රදේශ ජලයෙන් යටවන බව ප්රදේශවාසිහු පෙන්වා දෙති.
අයහපත් කාලගුණය හේතුවෙන් හබරාදුව සහ ඉමදුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි මාර්ග කිහිපයක් සහ පහත්බිම් රැසක්ද ජලයෙන් යටවි තිබුණි.. අඟුළුගහ හබරාදුව මාර්ගය ඇළ පහළ ප්‍රදේශයෙන්ද හරුමල්ගොඩ හප්පාවන මාර්ගය හප්පාවෙන ප්‍රදේශයෙන්ද ජලයෙන් යටව පැවති අතර ඉමදුව දඬුවන පාසල් මාවත ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වි තිබුණි.
ගාල්ල ඉමදුව මාර්ගයේ කොටසක් නුගදුව වර්ණ සංඥා පද්ධතිය අසලින් ජලයෙන් යටවි පැවැති අතර නුගදූව වලහන්දුව මාර්ගයද ජලයෙන් යටව පැවතීම නිසා ගමනාගමනයට බාධා එල්ල වි තිබුණි. මේ අතර පවත්නා අයහපත් කාලගුණය හේතුවෙන් දෙවට වැල්ල ප්‍රදේශයේ ධීවර ජනතාව ඊයේ දින ධිවර රක්ෂාව පිටත්ව ගොස් නොතිබුණි.
ගංවතුර තත්ත්වය හේතුවෙන් බෝපේ පොද්දල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් කුරුන්ද , බාස්වත්ත යන ප්‍රදේශවල එළවළු කොරටු හා කොළ වගාවන් ජලයෙන් යටවි තිබු අතර මෙම තත්ත්වය නිසා කොරටුගොවින් දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටියහ.
ගිංගගේ ජල මට්ටමද වැඩිවි ඇති අතර ගිංතොට, මහමෝදර,යන මෝයකටවල් විවිර කිරිමට කටයුතු කරණ බැව් ගිංගඟ වාරිමාර්ග කාර්යාලය පවසයි.







