කොළඹ වෝඩ් පෙදෙසේ නවතා තිබූ ත්‍රිරෝද රථයක තිබී තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කරන ලද පුද්ගලයාගේ මරා දමා ඇත්තේ පුද්ගලික ආරවුලක් මුල් කරගෙන විය හැකි බවට පොලිසිය සැක කරයි.
අද (23) අලුයම 1ට පමණ 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව වෝඩ් පෙදෙසේ පිහිටි ජාතික දන්ත රෝහල නුදුරේ නවතා තිබූ ත්‍රිරෝද රථයක පිටුපස අසුන අසල වැටී තිබිය දී කුරුඳවත්ත පොලිසිය විසින් මෙම පුද්ගල මළ සිරුර සොයා ගනු ලැබුවේය.
මිය ගොස් ඇත්තේ මිද්දෙනි ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි චමින්ද කුමාර නැමැති පුද්ගලයෙකි. ඔහු සිය බිරියගෙන් දික්කාසද වීම සඳහා නඩුවක් පවරා සිටි අයකි.
අතුරුගිරියේ නවාතැනක හිඳ ඇලුමිනියම් වැඩ කරමින් දිවා කාලය ගතකර රාත්‍රියේ ඔහු කුලී ගමන් සඳහා සිය මස්සිනාට අයත් ත්‍රී රෝද රථය ධාවනය කිරීම සිදුකර ඇත.
නිතර නිතර බීමත් වීමත්, බීමත් වූ පසු ආරවුල්වලට පැටලීමත් මිය ගිය පුද්ගලයාගේ චර්යාවක් බවත්, ඊයේ රාත්‍රියේ තවත් ත්‍රීවිල් කුලී රථ රියදුරෙක් සමග ගැටුමක් ඇති කරගෙන තිබුණු බවත් විමර්ශන අංශ පවසයි.
පසුව ත්‍රිරෝද රථය සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් සිදුකළ සොයාබැලීමේදී අනාවරණ වී ඇත්තේ, එය මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවකුට අයත් එකක් බවය.
ඝාතනයට ලක් වූ පුද්ගයාගේ පපුවේ සහ ගෙලෙහි තියුණු ආයුධවලින් සිදුකළ පහරදීම් දක්නට ලැබුනු බව පොලිසිය පවසයි.
පොලිසිය ප්‍රදේශයේ ඇති CCTV කැමරාද පරීක්ෂා කිරීම ආරම්භ කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන සිදුකකරයි.







