ලලිත් චාමින්ද – කීර්ති ප්‍රනාන්දු –
බුස්ස බන්ධනාගාරයේ සිට අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන යමින් සිටි කොවිඩ් ආසාදිත රැඳවියන් පිරිසක් අතර සිටි රැඳවියකු ඊයේ (25) රාත්‍රි 7.00 පමණ මාතර වල්ගම ප්‍රදේශයේ දි බන්ධනාගාර බසයේ ජනෙලයකින් පැන ගොස් ඇති බැව් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක (කොමසාරිස් පාලන) චන්දන ඒකනායක පවසයි.
පැනයගිය රැඳවියා 27 හැවිරිදි වියේ පසුවන අයෙකි. බුස්ස බන්ධනාගාරයේ සිට කොවිඩ් ආසාදිත රැඳවියන් 36 දෙනෙකු අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ පිහිටි කොවිඩි වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානය වෙත රැගෙන යමින් සිටියදි මෙම රැඳවියා බසයෙන් පැනගොස් ඇත.
පැවති අයහපත් කාලගුණික තත්වය නිසා විදුලි කණුවක් මාර්ගයට වැටිමෙන මාතර වල්ගම ප්‍රදේශයේ දි බසය සෙමින් ධාවනය කොට තිබේ. ඒ අතර මෙම රැදවියා බසයේ දැල්ගසා ආවරණය කරතිබු ජනෙලයේ දැල්කඩාගෙන පැනගොස් ඇත. පැනගිය රැඳවියා ඇල්ලිම සදහා පොලිසිය හා බන්ධනාගාරය එක්ව විශේෂ මෙහෙයුමක්ද ආරම්භ කොට ඇත.
මේ අතර කොල්ලුපියේ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටි කොවිඩ් ආසාදිත පුද්ගලයෙක් ද නොදන්වා ඊයේ (25) රෝහලින් පලාගොස් ඇතැයි වාර්තා වේ. ඔහු අම්පාර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. ඔහු පිළිබඳව ද තොරතුරු සොයා පොලිස් මෙහෙයුම් ආරම්භ කර ඇත.