කොවිඩ් වසංගතයේ පළමු රැල්ලේදී විශේෂ අවධානයට ලක්වූ වැලිසර නාවික හමුදා කඳවුරේ ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයක් විශාල පිරිසක් සහභාගි කරගෙන විවෘත කිරීම සඳහා කටයුතු යොදමින් සිටින බව වාර්තා වේ.
ඒ අනුව ලබන මැයි මස15 වැනිදා 300කගේ පමණ සහභාගිත්වයකින් යුක්තව මෙම ක්‍රීඩා සංකීර්ණය විවෘත කිරීමට අදාළ පූර්ව කටයුතු මේ දිනවල සිදුවන බව නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.
එම ක්‍රීඩා සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කර නොමැති වුවද එම කටයුතු කඩිනමින් සම්පූර්ණ කිරීම සඳහා මේ වන විට දිවා රාත්‍රී මුළුල්ලේ නාවික හමුදා භට පිරිස් යොදවා එම කටයුතු සම්පූර්ණ කරමින් සිටින බව පවසන එම ආරංචි මාර්ග කොවිඩ් වසංගත තත්ත්වය මත මෙවැනි උත්සවයක් හදිසියේ සංවිධානය කරන්නේ ඇයිද යන්න සම්බන්ධයෙන් විමතියට පත්ව සිටින බව සඳහන් කරයි.
නාවික සෙබළුන් හය දහසක් පමණ සේවය කරන වැලිසර නාවික හමුදා කඳවුරේ පසුගිය පළමු කොවිඩ් රැල්ලේ දී ද සෙබලුන් විශාල සංඛ්‍යාවක් ආසාදිතයින් බවට පත්වූ අතර යළිත් මෙවැනි උත්සව සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් සංවිධානය කිරීම සම්බන්ධයෙන් අභ්‍යන්තර නාවික හමුදාව තුළ විවේචන පවතින බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වුවද අප මේ පිළිබඳව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතාගෙන් ද විමසීමක් කළ අතර එහිදී ඔහු සඳහන් කළේ වැලිසර නාවික හමුදා කඳවුරේ ක්‍රීඩා සංකීර්ණය විවෘත කිරීම සඳහා කලින් එම දින යොදාගෙන ඒ සඳහා සූදානමක් පැවතුණ ද එය පවත්වන්නේ ද නැද්ද යන සම්බන්ධයෙන් අවසාන තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි.
පවතින වසංගත තත්ත්ව අවදානම පිළිබඳ සලකා නාවික හමුදාවේ ඉහළ නිලධාරීන් ඒ සම්බන්ධව අවසාන තීන්දුව ගනු ඇති බවත් පසුගිය සතියේ ද පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රීඩා තරග කිහිපයක් අවලංගු කළ බවත් නව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.