එය හත් දා මගුල් කෑ යුතු දිනුමකි.
අපේ ක්‍රිකට් ඉතිහාසයේ මුල්ම වරට අප බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව විස්සයි20 තරගාවලි ජයක් වාර්තා කර ඇත්තේය.
අද දිනුම පෙරළි පෙරළී සැමරිය යුතු දිනුමකි. ලකුණු 163ක ඉලක්කය හඹා ගොස් අප ජයග්‍රහණය කරන්නේ එක් කඩුල්ලක් පමණක් දැවී ගොස් තිබිය දීය. ඒ කඩුලු 09ක ජයග්‍රහණය මහා බරසාර එකකි.
එය වැදගත්වන තවත් විශේෂ කාරණාවක් ඇත. එය නම් අත් සහ ඇස අතර පෙර තිබුනු තියුනු සම්බන්ධතාවය ගිලිහී යා නොදී ආබාධ දරාගෙන තවමත් හිතේ හයියට ක්‍රිකට් ගසා රට දිනවන පොඩි සනා කාලෙකින් ලබා ගත් ලකුණු 50 ය. ඒ ලකුණු 50 කුසල් ජනිත් පෙරේරාට යළි ජිවිතයක් ලබා දුන් බව විශ්වාස කරමු.
නිරන්තර අසමත්වීම් හමුවේ ගර්හාවට ලක්වෙමින් සිටි කුසල් මෙන්ඩිස් යළි සිය භූමිකාවට සාධාරණයක් කරමින් කණ්ඩායම තුළ තහවුරු වීම ද සුබ දැකුමක් බව කිව යුතුව තිබේ. පැතුම් නිශ්ශංක සහ කුසල් මෙන්ඩිස් ලබා ගත් ආරම්භය කුසල් ජනිත් සහ කුසල් මෙන්ඩිස් විසින් නිමා කළේ අමතක නොවන ක්‍රිකට් මතකයක් සමගිනි.
ඉතිහාසය
මුලින්ම බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ශ්‍රි ලංකාව අතර විස්සයි 20 තරගාවලියක් පැවැත්වෙන්නේ 2015/16 අවුරුද්දේ ය. තරග දෙකකින් යුතුව තරගාවලිය පැවැත්වෙන්නේ ලංකාවේය. තරගාවලිය 1-1 ලෙස සම වුනේය.
2019/20 තරග වාරයේදී නැවත බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ලංකාවේ සංචාරය කළේය. බටහිර ඉන්දීය කොදෙව්වන් අප මුලුමනින්ම පරාද කළ තරගාවලිය දිනුවේය. අප 2-0 ලෙස තරගාවලිය පරාදය.
2020/21 තරගවාරයේ දී බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල සංචාරය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඒ තරගාවලියත් පරාජය වුනේය. බටහිර ඉන්දීය කොදෙව්වෝ තරගාවලිය 2-1 ක් ලෙස ජයග්රහණයෙන් නිමා කළහ.
අද ඒ ඉතිහාසය වෙනස් විය. අප මුල්ම වතාවට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග තරගාවලි ජයක් වාර්තා කළේය. ඒ 2-1 ලෙස ය.
මෙතෙක් ශ්‍රි ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම විස්සයි විස්ස තරග 17කට සහභාගී වී තිබිණි. මේ තරගාවලියෙන් පසු අප තරග 09කින් දිනුම්ය. ඔවුන් ජයග්‍රහණය කර ඇත්තේ තරග 8කි.

අද තරගය
දඹුල්ලේ අද පැවතුනේ තරගාවලි ජයග්‍රහණයක් තීරණය කරන තරගයකි. මුල්ම තරගය බටහිර ඉන්දීය කොදෙව්වන් දිනුම්ය. දෙවැනි තරගය අප දිනුම්ය.
එය සටන්කාමී තරගයක් බව කිව යුතුය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහර එල්ල කිරීම තේරුවේය. ඔවුන්ගේ තක්සේරු වූයේ ලකුණු 150ක් ලබා ගැනීම හොඳ තරගයක් සඳහා ප්‍රමාණවත් වනු ඇති බවය. පන්දුවට පහර එල්ලකිරීමේ දී ඔවුහු එම ඉලක්කය ලබා ගත්හ. ලකුණු 162ක් දක්වා කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළ ගියේය.
බටහිර ඉන්දීය කොදෙව්වන් තරගය ධනාත්මකව ගෙන තිබිණි. කණ්ඩායමේ අංක 2 පිතිකරු එවින් ලෙවිස් මුල්ම පන්දුවේ දී ලකුණු නොලබා දැවී ගිය ද බ්‍රෙන්ඩන් කිං ෂායි හෝප් ජවසම්පන්න ක්‍රීඩාවක යෙදුනහ. කිං පන්දු 19කට හතරේ පහර තුනක් සහ හයේ පහරක් සමග ලකුණු 23කි. ෂායි හෝප් ලකුණු 18කි.
අනතුරුව රොස්ටන් චේස් ලකුණු 08කටත්, ෂෙෆර්න් රදර්ෆර්ඩ් ලකුණු 06කටත් දැවී ගොස් කණ්ඩායම අසීරු අඩියකට පත්ව තිබුණු අවස්ථාවේ දි නායක රොවෙන් පවෙල් සහ ගුඩාකේෂ් මෝටි බිහිසුනු පිතිකරණයක නිරත වූහ. පවෙල් පන්දු 27ක දී ලකුණු 37කි. ඊට යෝධ හයේ පහර 3ක් ඇතුළත් විය.
ගුඩාකේෂ් මෝටි පන්දු 15ක දී ලකුණු 32ක් ලැබුවේය. හතරේ පහර 1ක් සහ හයේ පහර 3ක් සහිතව ඔහු ලැබූ ලකුණු 32න් ලකුණු 25ක් රැස් කරන්නේ දුනිත් වෙල්ලාගේ සිවුවැනි පන්දු ඕවරයටය. ඔහු එල්ල කරන හතරේ පහර සහ හයේ පහර තුන එල්ල කරන්නේ දුනිත්ට ය.
එය තරගයේ 15 වැනි පන්දු ඕවරය වූයේය. ඒ වනවිට ලකුණු 11කට පන්දු ඕවර 3ක් යවා තිබූ දුනිත් පන්දු ඕවර හතර නිමා කරන්නේ කඩුලු නොලබා ලකුණු 36ක් බටහිර ඉන්දීය කොදෙව්වන්ට ලබා දෙමිනි. හසරංග ගේ පන්දුවකට දක්ෂ ස්ටම් කිරීමකින් කුසල් මෙන්ඩිස් මෝටිව දවා ගත්තේය.
පන්දු 13ක දි ලකුණු 18ක් ලබා ගත් රොමාරියෝ ෂෙපඩ් තරගයේ අවසන් පන්දු ඕවරයේ 5 වැනි පන්දුවේ දී නුවන් තුෂාරගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ දැවටීමෙන් දැවී ගියේය.
පන්දු යැවීමේ දි මහීෂ් තීක්ෂණ පන්දු ඕවර 3ක් යවමින් ලකුණු 19කට කඩුළු 02ක් ලැබුවේය. වනිඳු හසරංග පන්දු ඕවර 4 ලකුණු 24කට යවා කඩුළු 02ක් දවා ගත්තේය. නුවන් තුෂාර, කමිඳු මෙන්ඩිස්, චරිත් අසලංක, මතීෂ පතිරණ කඩුල්ල බැගින් ලැබූහ.

ශ්‍රී ලංකා ඉනිම
එය එකම සැනකෙලියකි. වාසනාවත් අප සමග තිබුණේය. පැතුම් නිශ්ශංක මුල් පන්දු ඕවරයේම 4 පහර තුනකි. පළමු ඕවරයේ සිවුවන පන්දුවේ දී උඩ පන්දුවක් රැක ගැනීමට නායක පවෙල් කළ උත්සාහය ද අවසානයේ ඔහුගේ අත් වැදී හතරේ සීමාව ඉක්මවා ගියේය. පැතුම් ලකුණු 39ක් පන්දු 22ක දී රැස් කරගන්නේ හතරේ පහර 07ක් සහ එක් හයේ පහරක් සමගිනි. ඔහු ගුඩාකේෂ් මෝටිගේ පන්දුවක් කඩුල්ලේ දැවටී දැවී යන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 60කි. ඒ වනවිට පවර් ප්ලේ කාලයත් ඉවර නැත. යවා තිබුනේ ඕවර 5.2කි.
ඉන් පසුව කුසල් ජනිත් කුසල් මෙන්ඩිස්ට එකතු වුනේය. පන්දු 72ක දී නොදැවුනු ලකුණු 106ක සම්බන්ධතාවයක් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගමින් කුසල් සහ කුසල් ලකුණු 166ක් ලබා ගනිමින් තරගය නිමා කරන්නේ 18 වැනි පන්දු ඕවරයේ දී ය.
කුසල් මෙන්ඩිස් පන්දු 50ක දී ලකුණු 68ක් නොදැවී ලබා ගත්තේය. ඊට හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය. කුසල් පෙරේරා නොදැවී ලකුණු 55ක් ලැබුවේය. ඔහු ඒ ලකුණු 55 ලබන්නේ පන්දු 36කිනි. ඊට එක් හයේ පහරක්වත් කුසල් පෙරේරා එල්ල කළේ නැත. හතරේ පහර 07කි. හැකි සෑම අවස්ථාවේම එක් ලකුණ ලකුණු 2 බවට පත් කරගනු පෙනුනි.
අවසානයේ අප තරගාවලිය ජයග්‍රහණය කළේය. විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළේය. බොහෝ සුබ ලකුණු මැවෙන්නේය. හැදුවේ කණ්ඩායමේ විනය පමණි. ජයග්‍රහණ මාලාවකි.
අපට හිතෙන්නේ රටේ අවුලත් මෙය බවය. හදන්න අවශ්‍ය විනය සහ හැඟීම පමණි. රටට ජයග්‍රහණ ලැබෙනු ඇත.







