දිනසේන රතුගමගේ –
මුලතිව් කොක්කුතුඩුවායී සමූහ මිනී වළේ කැණීම් කටයුතු 15 වෙනිදා සවස සිට තාවකාලිකව නවතා දැමූ බව එම සමූහ මිනීවළේ කැණීම් කටයුතු බාර ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව පැවසීය.
මේ දක්වා කැණිම් තුළින් මතුකරගත් සාක්ෂි හා අනෙකුත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් විශ්ලේෂණය කොට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අධිකරණය ලබාදෙන තීරණ අනුව ඉදිරි කටයුතු කිරීමට නියමිත බව ද හෙතෙම සඳහන් කළේය.
කැණිම් තුළින් මෙතෙක් මතුකරගත් දෑ සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් තවමත් ගැනීමට නොහැකි තත්වයක් පවතින බවද ජ්‍යේෂ්ඨ මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.
පුරා දින නවයක් තිස්සේ සිදු කළ මෙම කැණීම් කටයුතු සදහා රුපියල් ලක්ෂ 57 ක මුදලක් එම කාලය තුළ වැය වී ඇති අතර ඉදිරියටත් කැණීම් කටයුතු කරගෙන යාම සදහා මූල්‍යමය ගැටලුදවක්ද පැන නැගී තිබේ .
මෙතෙක් එම සමූහ මිනී වළේ සිදු කළ කැණීම් කටයුතු වලදී කාන්තා කොටි සෙබළියන් 17 දෙනෙකුගේ සහ එක් කොටි සාමාජිකයෙකුගේ බවට සැක කෙරෙන ඇට සැකිල්ලක් හමු වී තිබේ.

ඊට අමතරව කොටි සෙබළියන්ගේ බවට සැක කෙරෙන නිල ඇදුම් කැබලි කාන්තා ඇදුම් කැබලි පැරණි පිස්තෝලයක් ගිණි අවි පහක කොටස් සයනයිඩ් කරල් බවට සැකකෙරෙන කුප්ප්පි දෙකක්, හදුණා ගැනීමේ අංක තහඩු දෙකක් ( ඩෝග් ටැග් ) ඇතුළු තවත් භාණ්ඩ හා උපකරණ රැසක් හමු වී තිබේ.
එසේ සොයා ගන්නා ලද දේවල් පිළිබදව විධිමත් ලේඛන ගත කිරීමක් හා මූලික පරීක්ෂණයක් සිදු කිරීමට කාලය අවශ්‍ය බැවින්ද මුදල් ගැටළුවක් පැන නැගී තිබීමද සමූහ මිනී වළේ කැණීම් කටයුතු තාවකාලිකව නවතා දැමීමට හේතු වී තිබේ.
ගොඩගත් අස්ථි කොටස් මුලතිව් මහේස්ත්රාත්වරයාගේ නියෝග යටතේ පරීක්ෂණ වෙනුවෙන් මුලතිව් රෝහලේ ස්ථාපිත විශේෂිත කුටියක තැන්පත් කොට ඇති බව මුලතිව් රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි කනකසභාපති වාසුදේව පැවසුවේය.
කැණීම් තුළින් එක මත එක පිහිටි අස්ථි කූඩු මතුකරගත් බවත්, හමුවු අස්ථි කූඩු අවිධිමත් ලෙසට වළට දමා ඇති බව නිරීක්ෂණය වන අතර, පොදු සුසානයක සිරුරු තැන්පත් කරන ආකාරයට ක්රමානුකූල බවකින් තොරව සිරුරු වළට දමා ඇති බවත් මුලිකව දැක ගැනීමට හැකි වන බව ද කැණීම් නිලධාරීහු වැඩිදුරටත් පැවසූහ.
මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන්ගේ අධීක්ෂණය යටතේ, පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක් සමූහ මිනිවළ සම්බන්ධයෙන් කැණීම් සිදුකළහ.
කෝකිලායි පොලිස් නිළධාරීන්,පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය, පුරාවිද්‍ය නිලධාරින්, පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂක නිළධාරීන් ඇතුළු කණ්ඩායම් රැසක් කැණීම් කටයුතු සදහා සහයෝගය ලබා දී ඇත.







