පසුගිය 08 වැනිදා අතුරුදහන් වූ කෙසෙල්වත්තේ දැරියන් තුන්දෙනා ඊයේ (09) අපව තිගැස්සුවේය. මේ සම්බන්ධ කතා බහ ඇවිලී යද්දී ඊයේ රාත්‍රියේම පොලිස් මධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව කීවේ නැතිවුණු දැරියන් තුන්දෙනා ගෙදර පැමිණ ඇති බවය.
දැන් ඒ කතාවේ තොරතුරු එළියට එමින් තිබේ.
අවුරුදු 12 සහ 15 වයස්වල පසුවන මේ දැරියන් තිදෙනා කුමක් හෝ හේතුවක් නිසා කෙසෙල්වත්තේ ඔවුන්ගේ නිවෙස්වලින් පිටවී ඇත. අරමුණක් නැතිව මේ දැරියන් ගොඩවී ඇත්තේ අනුරාධපුරයට යන බස් රථයකය. ඒ පෙරේදා (08) ය.
බස් රථය අනුරාධපුරයට එනවිට හවස් වී ඇත. හවස් යාමයේ අනුරාධපුරයෙන් බැසගත් දැරියන් තිදෙනාට තරුණයින් පිරිසක් අනවශ්‍ය ලෙස විහිළු කරන්නට පටන් ගෙන තිබේ. බස් රථයේ කොන්දොස්තර සහ රියදුරු වාසනාවට උතුම් මනුස්ස ගුණ පිරිණු මිනිස්සුය. මේ දැරියන් සම්බන්ධව සැක සිතුණු ඔවුන් දෙපළ දැරියන් යන එන තැන් ගැන විමසා තිබේ. මේ තොරතුරු සොයා බැලීමේ දී ඔවුන්ට තේරී ඇත්තේ මේ තිදෙනා නිවසට හොරෙන් පැමිණ ඇති බවය.
මේ වටිනා මනුස්සයින් දෙදෙනා දැරියන් තිදෙනාව කොතැනකවත් යා නොදී බස් නැවතුමේ රඳවාගෙන තිබේ. අනතුරුව මන්නාරමේ සිට කොළඹ යන බස් රථයක දැරියන් තිදෙනා නැන්වූ ඔවුන් අතරගම කොතැනකවත් ඔවුන්ට බහින්නට ඉඩ නොදෙන සේ රියදුරුට සහ කොන්දොස්තරවරයාට උපදෙස් ලබා දී තිබේ.
මේ වනවිට දැරියන් තිදෙනා සොයා බැරිම තැන ඒ නිවෙස්වල වැඩිහිටියන් ඔවුන් අතුරුදහන් බව දන්වමින් කෙසෙල්වත්ත පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. ඒ ඔවුන් අතුරුදහන් වූ 08 වැනිදාය. පොලිසියත් මේ සම්බන්ධව විමර්ශන ආරම්භ කළේය.
අනුරාධපුරයෙන් දැරියන් තිදෙනා ගොඩකළ බස් රථය කොළඹ බස් නැවතුමට එන්නේ මහ රෑ ය. කොළඹ පැමිණියත් ගෙදර නොගිය දැරියන් තිදෙනා රෑ එළිවනතුරු කොළඹ කරක් ගහසමින් සිට ඇත. ඔවුන් තිදෙනා ඥාති නිවසකට යන්නේ ඊයේ පාන්දර එළිය වැටෙන යාමයේ ය. ඒ නිවස ඇත්තේ කෙසෙල්වත්තේ ඔවුන්ගේ නිවෙස් අසලය.
අනතුරුව දැරියන් තිදෙනා සිය නිවෙස්වලට ගොස් තිබේ. රට දැරියන් අතුරුදහන් වීම ගැන ප්‍රවෘත්ති අසනවිට ඔවුන් සිය නිවෙස්වලට නැවත ඇවිත්ය. එහෙත් මේ දරුවන් අතුරුදහන් වීම ගැන පැමිණිලි කළ නිවෙස්වල උදවිය දරුවන්ගේ නැවත පැමිණීම පොලිසියට දන්වා තිබුණේ නැත.
දැන් පොලිසිය මේ සිදුවූයේ කුමක් දැයි සොයමින් සිටී







