දේශීය වෙළෙඳපලේ පවතින කීරි සම්බා සහල් හිඟයට පිලියමක් වශයෙන් GR 11 පොන්නි සම්බා නැමැති සහල් විශේෂය කීරි සම්බාවලට ආදේශකයක් ලෙසින් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.
අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ කිරී සම්බා ආනයනය කිරීම සඳහා ආනයන බලපත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවය මාසයක කාලයක් සඳහා අත්හිටුවන බවය.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයාට අනුව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ගෘහ ආදායම් සහ වියදම් වාර්තා ප්‍රකාරව ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තුගත වාර්ෂික සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් ලක්ෂ 24.6කි. වාර්ෂික කීරි සම්බා පරිභෝජනය සමස්ථ සහල් පරිභෝජනයෙන් සියයට 10කි.
දේශීය වෙළෙඳපලේ කීරිසම්බා හිඟයක් ඇති නිසා සහ පාලන මිලට වඩා වැඩි මිලට කීරි සම්බා අලෙවි කිරීම වාර්තා වී ඇති නිසා ආනයනකරුවෙකුට මෙට්‍රික් ටොන් 520ක උපරිමයකට යටත්ව 2025.10. 15 දින සිට 2025.11. 15 දින දක්වා කීරි සම්බා සහල්වලට ආදේශකයක් ලෙස සලකනු ලබන GR 11 පුන්නි සම්බා සහල් ආනයනය කිරිම වෙනුවෙන් ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවයෙන් ආනයනකරුවන් නිදහස් කිරීමට යෝජනා වී තිබේ.
ඒ සඳහා ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ ප්‍රතිපත්ති මත පදනම්ව කෘෂිකර්ම ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයාත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයාත් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ පොදුවේ ගොවීන් කීරි සම්බා වගා කළ ඉඩම් ප්‍රමාණය අඩුවීම සහ ඒ හේතුවෙන් අස්වැන්න අඩුවීමත් නිසා කීරි සම්බාවලට ඇති ඉල්ලුම ඉහළ ගොස් ඇති බවත් ඒ නිසාම පාලන මිලට වඩා වැඩි මිලකට සහල් අලෙවිය වාර්තා වන බවත්ය.







