තමන් කිසිම අවස්ථාවක පාර්ලිමේන්තුවට සාවද්‍ය ප්‍රකාශ නොකළ බවත් රජරට විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා පත් කිරීම පිළිබඳ ක්‍රියාවලියට අදාලව බලපෑම් කර රැකගැනීමට පුද්ගලයෙක් හෝ සිදුවීමක් නොමැති බවත් අවධාරණය කළ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ චෝදනාවට ලිපි ලේඛණ සහිතව නිශ්චිත පිළිතුරක් ලබා දුන්නාය.
ඇය පෙන්වා දුන්නේ මෙම ප්‍රශ්නයට ඉතිහාසයක් ඇති බවය. රජරට විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා පත් කිරීම ආරම්භ වන්නේ තුන්දනාගේ ආණ්ඩුව පත් වෙමින් ආණ්ඩු මාරුව සිද්ධවන කාල වකවානුවේ බව ඇය පෙන්වා දුන්නාය.
ඒ වනවිටත් එවකට පැවති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් එවකට සිටි ජනාධිපතිවරයාට මෙම උපකුලපති ධූරය සඳහා නාම යෝජනා කර ඉහළින්ම සිටි විද්වතුන් තිදෙනාගේ නම් සමග ලකුණු සාමාන්‍ය ඉදිරිපත් කර තිබිණු බව ඇය පැවසුවාය. ඇය ඒ ලිපිය ඉදිරිපත් කරමින් එය ලියැවෙන්නේ 2024 සැප්තැම්බර් මස 12 වැනිදා බව කීවාය.
එම නම් තුන සමගම නිරීක්ෂණ ඉදිරිපත් කරන විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව 2024 සැප්තැම්බර් 24 දින එම නිරීක්ෂණ ඉදිරිපත් කරමින් කියා සිටින්නේ කවුන්සිලයේ සාමාජිකයින් කිහිප දෙනෙකු විසින් අයදුම්කරුවන්ට ලබා දී ඇති ලකුණු විෂමතා සලකා බැලූ කොමිෂන් සභාව රජරට විශ්වවිද්‍යාලය සඳහා උපකුලපතිවරයෙකු ගේ කිසිම නමක් ජනාධිපතිතුමා වෙත නිර්දේශ නොකිරීමට තීරණය කරනු බව දන්වා ඇතැයි අගමැතිවරිය පැවසුවාය.
අනතුරුව නව කොමිෂන් සභාවක් පත් වී නව සභාපතිවරයෙක් පත් වූ පසු ඇමතිවරිය ලෙස තමන්ට ලැබුණ වාර්තාවට අනුව තමන් උපදෙස් දුන්නේ මෙම ලිපිය නැවත අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කරන ලෙසට යැයි අගමැතිවරිය පෙන්වා දුන්නාය. නව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය වන්නේත් උපකුලපති සඳහා කිසිම නමක් යෝජනා නොකරන බව යැයි ද පාර්ලිමේන්තුවට කීවේ අදාල ලේඛන සභාගත කරමිනි.
එමෙන්ම උපකුලපති ධූරය සඳහා යෝජනා කළ නම් තුනම රජරට විශ්වවිද්‍යාලයෙන් ඉදිරිපත් වී ඇති ආකාරය පිටත ආයතන විසින් චෝදනා ලැබ ඇති අතර අයදුම්කරුවන් සඳහා පාලක සභාව ලකුණු ලබා දුන් ආකාරය ප්‍රශ්න සහගත බවට විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට එවා ඇති බවද අගමැතිවරිය පැවසුවාය.
මේ ආකාරයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම නිර්දේශ කිරීම සඳහා නමක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් නොකිරීම නිසා මෙම සම්මුඛ පරීක්ෂණ නැවත පවත්වන ලෙස ජනාධිපතිවරයා ලබා දුන් උපදෙස් ජනාධිපති ලේකම් වරයා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දැනුම් දුන් බවත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් රජරට විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරීට යැවූ ලිපිය පදනම් කරගෙන දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මේ කරුණු ඉදිරිපත් කිරීම කරන්නේ සිද්ධියට සම්බන්ධ ඉතිහාසය නොදැන බවත් අගමැතිවරිය පැහැදිලි කළාය.
ඇය විසින් අදාල ලිපි ලේඛන සියල්ල සභාගත කළාය.







