කිසිදු වසරක පෙරහර වෙනුවෙන් විදුලි බිලක් ගෙවීමට විදුලි බල මණ්ඩලය ඇස්තමේන්තුවක් එවා නොමැති බව බස්නායක නිළමේවරුන් ගේ සංගමයේ සභාපති, පත්තිනි දේවාල බස්නායක නිළමේ හේමන්ත බණ්ඩාර මහතා පවසයි.
පෙරහර සමයේ භාවිත කරන විදුලිය වෙනුවෙන් විදුලි බල මණ්ඩලය මේ ආකාර ඇස්තමේන්තුවක් මහනුවර සතර මහා දේවාලවලට යොමු කළ ප්‍රථම අවස්ථාව මෙය බව ද ඒ මහතා කීය.
තමන් මේ වන විට වසර අටක් අඛන්ඩව බස්නායක නිළමේවරයෙකු ලෙස කටයුතු කරන බවත් ජනපතිවරු තිදෙනෙකු ඒ කාලය තුළ රට පාලනය කළ බවත් බස්නායක නිළමේ වරයා කීය
පෙරහර කිරීමට එක් දේවාලයට රුපියල් කෝටියක පමණ මුදලක් වැය කිරීමට සිදුව තිබිය දී විදුලි බිලත් දේවාල ය මත පැටවීම කනාගාටුවට කරුණක් බව ද බස්නායක නිළමේවරයා පැවසුවේය.
පෙරහර ට අදාළව නොව දේවාලයේ සාමාන්‍ය විදුලි බිලද දරනු ලැබුවේ රජය විසින් බවත් මණ්ඩලය මගින් කළ ඉල්ලීමකට අනුව විදුලි බල මණ්ඩලය ලබමින් සිටි පාඩුව සැලකිල්ලට ගෙන දේවාලවල මාසික විදුලි බිල දැනට මාස හයක කාලයක පටන් දේවාල මගින් ගෙවන බවත් හෙතෙම අවධාරණය කළේය.
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සඳහා වැඩිම දායකත්වය ලබා දෙන්නේ දේවාල මගින් බවත් පෙරහර වීදී සංචාරය ආරම්භ කිරීමට පෙර පුරා දින පහක් දේවාල අභ්‍යන්තර පෙරහර පවත්වනු ලබන්නේ සිව් මහා දේවාල මූලිකත්වයෙන් බවත් ඒ මහතා කීය.
සෑම දිනකම පෙරහර වීදී සංචාරය අවසන් වීමෙන් පසු බිසෝ පෙරහර නමින් තවත් පෙරහරක් කරන බවත් මේ සියල්ල සිදු කරනු ලබන්නේ පෞරාණික චාරිත්‍ර ඉටු කරමින් රටට හා ජනතාවට සෙත් පතා බවත් බණ්ඩාර මහතා කීවේය.
රෑ පුරා පෙරහර චාරිත්‍ර ඉටු කරනු ලබන්නේ දෙවිහාමුදුරුවන් වෙනුවෙන් බවත් අවශ්‍යය නම් විදුලි ආලෝකය නොමැතිව පන්දම් එළියෙන් හෝ පෙරහර පැවැත්වීමේ හැකියාව තිබෙන බවත් කී ඒ මහතා පෙරහර නැරඹීමට එන ජනතාව වෙනුවෙන් නිසි ආරක්ෂාව සහ පහසුකම් ලබාදීම රජයේ යුතුකමක් මෙන්ම වගකීමක් බව ද අවධාරණය කළේය.







