ශ්‍රියානි විජේසිංහ –
වෛද්‍යවරුන් රට හැර යාම ඇතුලු මේ වන විට පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය රජයට ඉදිරිපත් කළ යෝජනා මාලාවට ඉක්මන් විසදුමක් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදි බරපතල තත්ත්වයකට මුහුණ දීමට රටේ ජනතාවට සිදුවනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
රෝහල්වල රෝගී සත්කාර සේවාවන් පවත්වාගෙ යාමට නොහැකි වනසේ පවතින අඩුපාඩු මොනවාද යන්න පිලිබඳව මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කිරිම සිවිල් සංවිධාන, දේශපාන පක්ෂ, ආගමික නායකයින් දැනුවත් කිරිම ලබන 31වනදා ආරම්භ කරන බවද සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසයි.
මේ ප්‍රශ්නයන්ට විසදුම් ලබා දීමට පාලකයින් කටයුතු නොකරන්නේ නම් සියලුම රෝහල් තුළ නිහඬ විරෝධතාවන් පවත්වා එයට විසඳුම් නොලැබෙන්නේ නම් මධ්‍යම කාරක සභාව රැස්කර ගත හැකි දැඩිම තීන්දුව ප්‍රකාශයට පත් කරන බව හෙතෙම පවසා සිටියි.
වෛද්‍යවරුන් 1500ක් රට හැර ගොස් ඇති අතර තවත් වෛද්‍යවරු 5000ක පිරිසක් රට හැර යාමට සුදානම්ව සිටින බැවින් ඔවුන් රට හැර ගියහොත් පර්යන්තයේ රෝහල් පවත්වාගෙන යාමට නොහැකි තත්තවයක් උදාවනු ඇති බව සංගමය පෙන්වාදේ.